ගුවන් ගමන් භාණ්ඩ අපනයනයේදී සියලු අවසරපත් එකම ස්ථානයකින් ලබාදීමට රාජ්‍ය ඇමති අවධානය

ගුවන් මගින් භාණ්ඩ අපනයන කිරීමේදී දැනට සිදු වන ප්‍රමාදයන් සකස් කර විදිමත් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, සියලු අපනයන කටයුතු වලදී අවශ්‍ය අවසරපත් එකම ස්ථානයකින් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ගුවන්තොටුපල හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා අදාල නිළධාරීන්ට උපදෙස් දෑ ඇතැයි රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම ගුවන් ගාල් ගම්මානය තුළ සීසීටීවී කැමරා සවි කිරීමටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (07) කටුනායක ගුවන්තොටුපලේදී අපනයන සමාගම් නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

මෑත ඉතිහාසයේ කවරදාටත් වඩා ආනයන වියදමට වඩා  අපනයන ආදායම ඉහල යමින් පවතින බවත්, මෙම ආදායම ලබා දෙන අපනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගුවන් මගින් අපනයනය සිදු කෙරෙන බවත් අමාත්‍යාංශය පවසයි. එහෙත් දේශීය නිශ්පාදන ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවාහනය කිරීමේදී කටුනායක සහ මත්තල ගුවන් තොටුපල වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන වි නොමැති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් රැසක් සඳහා විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව සතියකට ගුවන් ගමන් තිහකට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහනයේ නිරත වන බව පැවසෙයි. ලන්ඩන්, ප්‍රැන්ක්ෆට්, බීජිං, ශැන්හයි, ගුවන්ශූ යන ගුවන් ගමනාන්තයන්ද මෙල්බර්න්, සිංගප්පූරුව, ඈත පෙරදිග, ටෝකියෝ, දෝහා හා ඩුබායි යන ගමනාන්තයන් මෙන්ම මාල දිවයින, ඩකා සහ ඉන්දියාව යන රටවල් වලටද මෙම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

මෙම භාණ්ඩ සඳහා ගුවන්තොටුපල තුළ ස්ථාන දෙකකදී සිදු කරන පරීක්ෂාව සහ විවිධ අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයන් හේතුවෙන් අපනයනකරුවන් ගැටලු රැසකට මුහුණ දෙන බව ඔවුන් පෙන්වා දී ඇත. එසේම මෙම භාණ්ඩවල ආරක්ෂාවද ප්‍රමාණවත් නොවන බවද ඔවුන් පවසා තිබේ.

මේ පිළිබඳව අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සියලු අවසරපත් එකම ස්ථානයකින් නිකුත් කිරීමටත් ගුවන් ගාල් ගම්මානය තුළ සීසීටීවී කැමරා සවි කිරීමටත් උපදෙස් ලබා දී තිබේ. එසේම එම කලාපයේ සේවය සඳහා ආරක්ෂක නිළධාරීන් ප්‍රමාණයද ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දන්වා තිබේ.

එහිදී කොළඹ වරාය තුළ සවිකර ඇති සම්පූර්ණ බහාලුම් පරීක්ෂා කල හැකි ‘කාර්ගෝ ස්කෑන්’ යන්ත්‍ර සවිකිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස ගුවන්තොටුපල සමාගමේ සභාපතිවරයාටද මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහතා, ගුවන්තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වී තිබේ.

Visits: 46