අඩු වූ කොටස් මිලදී ගැනීමට තෙවැනි දිනටත් දැඩි උනන්දුවක්

අද (සැප්තැම්බර් 08) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවලදී වටිනාකම් අඩු වූ සමාගම්වල කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් තනි පුද්ගල ආයෝජකයන් තුළ පිට පිට තෙවැනි දිනටත් වැඩි උනන්දුවක් පැවැති බව කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය අවසානයේදී ඇතැම් ආයෝජකයන් තුළ විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ ආයෝජනය කිරීම සම්බන්ධයෙන්ද වැඩි උනන්දුවක් දැක්වීමත් සමගින්ම සමස්ත කොටස් මිල දර්ශකය ඊයේ දිනයට වඩා සුළු ඉහළ යාමක් පෙන්නුම් කෙරුණි. එහිදී දේශීය ඉදිකිරීම් හා සම්බන්ධ නිෂ්පාදන සමාගම් කොටස්වල වටිනාකම් යම් වර්ධනයක් පෙන්නුම් කළ බවද තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය ඊයේ (සැප්තැම්බර් 07දා) ට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) ධන අගයක් ගත් අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,306.58 ත් ඒකක 5,325.64 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,316.05ක් බවට පත්විය. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව එය ඒකක 5.38 ක් එනම් 0.10%ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ ගනුදෙනුවක් ලෙස ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ හැටන් නැෂනල් බැංකුව අතර සිදු වූ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් 33%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 108ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 53ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලයන් බෘවරී සිලෝන් පීඑල්සී LION (+2.36), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+2.12), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+1.47), හේලීස් පීඑල්සී HAYL (+1.24), වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී WATA (+1.12), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-7.72), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-1.25), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-1.12)  සහ සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී GUAR (-0.94) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,307.64 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 07) දිනයට සාපේක්ෂව ඒකක 0.25 ක එනම් -0.01%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් මිලියන 757 ට සාපේක්ෂව 66%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.31 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.97%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 19.70ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 258.37ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 238.67කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 33.25ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.68කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 186.20ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 554ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 44% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ නිෂ්පාදන උපාංග අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 158ක සහ රුපියල් මිලියන 153ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 299