රවී ලියනගේ ජනශක්ති ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක ධුරයට

ජනශක්ති රක්ෂණ සමාගමේ (ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී) හි නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස රවී ලියනගේ මහතා නම් කෙරී ඇතැයි එම සමාගම නිවේදනය කරයි. 2020 නොවැම්බර් 16 වැනිදා සිට ඔහුගේ මෙම පත්වීම බලාත්මක වන බව සමාගම සඳහන් කරයි.

ලියනගේ මහතා වර්තමානයේදී TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි. මීට පෙර ඒ මහතා සතුව රක්ෂණ, මූල්‍ය, සිල්ලර, නිෂ්පාදන, මෝටර්රථ සහ ලිහිලි තෙල් යනාදී කර්මාන්ත ක්ෂේත්‍ර රැසකදී ජ්‍යෙෂ්ට කළමනාකරණ අත්දැකීම් පවතින බවත් පැවසෙයි.

ඒ මහතා මීට පෙර රිචඩ් පිරීස් ඩිස්ට්‍රිබියුටර් (ආර්පිකෝ) සහ ආර්පිකෝ ඉන්ෂුවරන්ස් යන සමාගම්හි අධ්‍යක්ෂ ධුර හොබවා තිබේ. එසේම ඒ මහතා රිචඩ් පීරිස් ආර්පිකෝ ෆිනෑන්ස් හි හිටපු සභාපතිවරයාද වෙයි. මීට අමතරව ඒ මහතා 2003 සිට 2011 වසර දක්වා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හා සම්බන්ධව කටයුතු කර ඇති අතර, 2006 සිට 2009 දක්වා ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.

මෙම නව පත් කිරීම සම්න්ධයෙන් අදහස් දක්වන ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සීහි සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා, “ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජනශක්ති ලයිෆ් වෙත රවී ලියනගේ මහතා පිළිගැනීමට හැකිවීම සතුටක්. රවී සතු පුළුල් අත්දැකීම්, දක්ෂතා සහ ලැදිකම් අපගේ ව්‍යාපාර ක්‍රමෝපාය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම පිළිබඳව මා විශ්වාසය තබා තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් සහ තවත් පශ්චාත් උපාධි දෙකක්  හිමි කරගැනීමට රවී ලියනගේ මහතා සමත්ව සිටියි. එසේම එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක්ද හිමි කරගෙන තිබේ. මීට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන්හි පිහිටි ආයතනවලින්ද ඒ මහතා අධ්‍යාපනය ලබා තිබේ.

ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ වසරේ හොඳම අලෙවිකරුවා යන සම්මානයෙන්ද පිදුම් ලබා දී තිබේ. එසේම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන් පිරිනමන බ්‍රෑන්ඩ් චැම්පියන් සම්මානයෙන් සහ ග්ලෝබල් බ්‍රෑන්ඩ් කොංග්‍රසය මගින් පිරිනමන ග්ලෝබල් බ්‍රෑන්ඩ් ලීඩර්ෂිප් සම්මානයද ඒ මහතා වෙත හිමිව තිබේ.

Visits: 125