ඉදිරි වසර හතරේදී පවුල් ලක්ෂ 47කට පානීය ජලය

2025  අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී ‘සැමට ජලය’ යන්නද ජනපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවක් බවත් සඳහන් කරයි.

ඒ අනුව ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පවසා සිටියි.

ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපයීම රජයේ අපේක්ෂාව වී තිබේ. එහිදී දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ජල නළ කි.මි 40,000ක් අලුතින් එළීමට සිදු වේ.

එසේම මේ දක්වා ජල සම්පාදනයට ගිය පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බවත් රජය පවසයි. ජලය ජනනය සහ සංරක්ෂණය ජල මූලාශ්‍ර හඳුනාගැනීම වැඩසටහනෙහි පියවර කිහිපයකි. ජල පෝෂක මූලාශ්‍ර සංරක්ෂණය උදෙසා වන රෝපණයට ද සැලසුම් කර තිබේ.

වර්ෂා ජලය ගබඩා කිරීම සහ දිවයිනේ වැව් සහ ජලාශවල ධාරිතාව නැංවිම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහි ද  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සහ නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීම ද නව සැලසුමට අන්තර්ගත වේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහු සහ ප්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Visits: 23