අඛණ්ඩව 18 වැනි දිනටත් කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවයි

පසුගිය අගෝස්තු මාසයේ දෙවැනි සතියේ සිට ඊයේ (සැප්තැම්බර් 03දා) දක්වා කාලය තුළදී අඛණ්ඩව දින 18 ක කාලයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ රුපියල් බිලියනය ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා කර ඇතැයි වෙළෙඳෙ පොළ ගනුදෙනු දත්ත පවසයි.

මේ සතියේදී මේ දක්වා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදු වුණු දින තුනක කාලය තුළදීද පිළිවෙලින් දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.36ක්, බිලියන 1.79ක් සහ බිලියන 1.12ක් ලෙස වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම මෙය නව කොරෝනා වසංගතය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තාවකාලිකව වසා දමා නැවත ආරම්භ කර ගෙවුණු කාලසීමාවේදී එය යළිත් ප්‍රකෘතිමත් වීම පෙන්නුම් කරවන්නක් බව වෙළෙඳ පොළ ගනුදෙනු විශ්ලේෂකයන් සඳහන් කරයි.

කොටස් වෙළෙඳ පොළ මෙලෙස තාවකාලිකව වසා දැමුණු  පසුගිය මාර්තු මාසයේ සිට පසුගිය අගෝස්තු 31 වැනිදා දක්වා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 758කින් එසේත් නැත්නම් 16.5%කින් ඉහළ නැග තිබේ. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 412 කින් එනම් 21%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවී තිබේ.

එහිදී මෙම පොලා පැනීම සඳහා මූලිකවම පිළිගත් ප්‍රධාන සමාගම් හේතුවෙන් සිදුව ඇති අතර, විශේෂයෙන්ම බැංකු අංශය සහ විවිධාංගීකරණය වූ සමාගම් දායකත්වය ලබා දී තිබේ.

කෙසේ වෙතත් විදේශීය ආයෝජකයන් සිය කොටස් අලෙවි කිරීම තවදුරටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබේ. ඊයේ දිනය වනවිට මේ වසරේ ජනවාරි මාසයේ සිට සිදුව ඇති සමස්ත විදෙස් ආයෝජන පිටතට ගලායාම් ප්‍රමාණය රුපියල් බිලියන 32.77ක් බවට පත්ව තිබේ.

මෙම අගය පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් බිලියන 31.66ක් ලෙස සටහන්ව තිබූ අතර, මේ සතියේ ගනුදෙනු සිදු වූ දින 3ක කාලය තුළදී මෙලෙස පිටතට ගලාගිය ආයෝජන ප්‍රමාණය පිළිවෙලින් රුපියල් මිලියන 450.57ක්, රුපියල් මිලියන 642.54ක් සහ රුපියල් මිලියන 19.71ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර ලබන සැප්තැම්බර් 17 වැනිදා වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඩිජිටල්කරණයට පියවර ගෙන ඇති අතර, එය කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තවදුරටත් ඉහළ  යාම සඳහා හේතු වෙනු ඇතැයි විශ්ලේෂකයන් සඳහන් කරයි.

එසේම මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (සැප්තැම්බර් 03) මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර, එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන්ද වැඩි දෙනාගේ අවධානය යොමුව තිබේ.

Visits: 342