රටෙහි ආර්ථික ප්‍රතිපත්තියට ගැළපෙන ඉඩම් ප්‍රතිපත්තියක් සකසන්නැයි ජනපති කියයි

පරම්පරා ගණනක් පදිංචිව සිටියද, වගා කටයුතු කළද, ඉඩම් සඳහා ඔප්පු නොමැති වීමෙන් රටෙහි බොහෝ ජනතාවක් පත්ව තිබෙන ගැටලු විසඳීමට නම් රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැළපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිතුමා පවසයි.

ඊයේ (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

විශේෂයෙන්ම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් වූයේ ඉඩම් ඔප්පු නොතිබීම බවද ජනාධිපතිතුමා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව, ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබා දිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට මෙහිදී උපදෙස් දී ඇත.

“ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව තිබේ. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත් වෙයි. බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණදී ඇති තවත් ගැටළුවකි.” ඒ අනුව එවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන්න යැයිද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකි බවද පවසා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා, විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළත්, පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි සඳහන් කර තිබේ.

ඒ අනුව අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කර ඇතැයි සඳහන් වෙයි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව තිබේ.

Visits: 36