ලිබර්ටි ප්ලාසා ගින්නෙන් කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමට මූල්‍ය බලපෑමක් නෑලු

කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ සාප්පුවක් තුළ පසුගිය අගෝස්තු 17 වැනිදා ඇති වූ ගින්නෙන් තමන්ට කිසිදු මූල්‍යමය හානියක් සිදුව නොමැති බව එම ගොඩනැගිල්ල හිමි කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම පවසයි.

පසුගිය ඉරිදා පල කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පුවතකට පිළිතුරු සපයමින් එම සමාගම මේ කරුණු අනාවරණය කරයි.

එහිදී එම ගින්න හුදෙක් අදාළ සාප්පුව තුළ පමණක් හට ගත් බවත්, ගින්න හට ගෙන විනාඩි 30ක කාලයක් ඇතුළතදී, ගිනි නිවන හමුදාව පැමිණීමට පෙරාතුව ගොඩනැගිල්ල තුළ සිටි පිරිස් විසින්ම එය පාලනය කර ගැනීමට හැකි වූ බවත් එම සමාගම පවසා සිටියි.

එසේම ආරක්ෂක පියවරක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ලිබර්ටි ගොඩනැගිල්ලේ සිටි සියලු දෙනාම ඉන් ඉවත් කිරීමටත් ප්ලාසා කළමනාකරණය පියවර ගත් බවත් පවසයි.

මේ අතර, ගින්න  හට ගෙන පැය 72කට පසුව ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණු බවත් සමාගම සඳහන් කරයි. එසේම මෙම ගින්නෙන් අදාළ සාප්පුව හැර ගොඩනැගිල්ලේ වෙනත් කිසිදු ස්ථානයකට දරුණු  හානි සිදු නොවූ බවත් සමාගම පවසයි.

කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගම සිංගප්පූරුවේ ක්ලැරිස්සා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරිය අතර 1981 වසරේදී ඇති කරගත් එකාබද්ධ ගිවිසුමක් හරහා පිහිටවුණු සමාගමකි.

වසර 30කට පසුව සමාගමේ හිමිකාරීත්වය තුළ කැපී පෙනෙන වෙනස්කම් රැසක්ම සිදු වුණු බවත්, අද දවසේදී එය කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්ව හිමිකාරීත්වයන් රැසකගෙන් සමන්විතව පවතින බවත්, එහි කළමනාකාරිත්වය වෘත්තීමය අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා සිදු වන බවත් කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ වෙබ් අඩවිය තුළ සඳහන් වෙයි.

Visits: 495