මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනයට රු.මිලියන 72ක්

දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනයට ඉදිරි මාස හතර සඳහා රුපියල් මිලියන 72 ක් වෙන් කර තිබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මේ වන විට උද්භිද උද්‍යාන පහක සිදුකෙරෙන සංවර්ධන කටයුතු බොහෝමයක් මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ පසුගියදා සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ. රාජ්‍ය ඇමති ඩී.වී චානක මහතා සහ උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්තුමිය ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලය තුළ මෙම හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ ඉඩම් හා මාර්ග පද්ධතිය සංවර්ධනය සදහා රුපියල් මිලියන 08 ක් වෙන් කර තිබේ.

එසේම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ගිම්හාන කුටි සංචාරක ආකර්ෂණය වැඩි වන පරිදි අලුත්වැඩියා කිරීමටත්, උද්‍යානයේ අනෙකුත් සංවර්ධන කටයුතු සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25 කි. සීතාවක උද්භිද උද්‍යානයේ සංවර්ධන කටයුතු සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 11 කි. මීට අමතරව ගම්පහ උද්භිද උද්‍යානයේ ඉඩම සංවර්ධනය සදහා රුපියල් මිලියන 05 ක් ද වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙරට විශාලතම උද්භිද උද්‍යානය ලෙස සැලකෙන මිරිජ්ජවිල උද්භිද උද්‍යානය මෙරට වියළි කලාපයේ පිහිටි එකම උද්භිද උද්‍යානයයි. අක්කර 300 කින් සමන්විත මෙම උද්භිද උද්‍යානයේ අක්කර 200 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සංවර්ධනය කර තිබේ. චෝගම් සමුළුව අවස්ථාවේ දිවයිනට පැමිණි රාජ්‍ය නායකයන් 52 කු විසින් එම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා රෝපණය කරන ලද ගස්වර්ග 52ක් ද මෙහි වේ. මෙම උද්භිද උද්‍යානය 2013 නොවැම්බර් මස 14 වෙනිදා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරිණි. මෙය වියළි හා ශුෂ්ක කලාප වලට ආවේණික ශාක සංරක්ෂණය සදහාම නිර්මාණය වූවකි.

මෙම උද්භිද උද්‍යානයේ මාවත් 28 ක් නම් කර ඇත්තේ ශාක වල නම්වලින් වීම විශේෂත්වයකි. වියළි කලාපය තුළම තෙත් කලාප සංරක්ෂණය කිරීම ද මෙම උද්භිද උද්‍යානය තුළ සිදු කෙරේ. දේශිය හා විදේශිය පතොක් ශාක රැසකින් මෙය සමන්විතය. එමෙන්ම කාන්තාර ආකෘතියක් සහිත එකම උද්භිද උද්‍යානයද  මෙයයි.

“මිරිජ්ජවිල උද්භිද උද්‍යානය පිළිබද ව ප්‍රමාණවත් ප්‍රචාරයක් නොමැති වීම ගැටලුවක්. මෙරට සියලුම උද්භිද උද්‍යාන වලට මහජන ආකර්ෂණය ලබා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් වහාම ආරම්භ කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව ඊට අවශ්‍ය කඩිනමින් පියවර ගන්න යැයි  ඇමති ප්‍රසන්න රණතුංග මහතා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර, උද්භිද උද්‍යාන සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව පවසා ඇති අමාත්‍යවරයා, එම සංවර්ධනයේදී ස්වාභාවික සෞන්දර්යට මුල් තැන දෙමින් එම කටයුතු සිදු කරන බවද මෙහිදී පැවසූ බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Visits: 34