ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් 15වැනි වතාවටත් ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම ලෙස නම් වෙයි

සුප්‍රසිද්ධ LMD සඟරාව මගින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු ‘2020 වසරේ වඩාත් ගෞරවනීයම සමාගම්’ ලැයිස්තුවේ මුල් තැනට පත්වීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව සිය සමාගම මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්වූයේ 15 වැනි වතාවට බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පවසයි.

සුප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් ආයතනය මගින් LMD සඟරාව වෙනුවෙන් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම නම් කිරීම සිදුව තිබේ. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එම සමීක්ෂණයේ ඉහළ ලකුණු සංඛ්‍යාව වන ලකුණු 1,125ක් ලබා ගැනීමට සමත්ව ඇත.

අදාළ ස්ථානයට පත් වීම සඳහා සිදුකරන වර්ගීකරණයේදී අංශ 10කින් අංශ 5කින්ම පළමු තැන ගැනීමට සිය සමාගම සමත්ව තිබීමද විශේෂත්වයක් බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

LMD සඟරාව 2005 වසරේ සිටම මෙලෙස ‘වසරේ වඩාත් ගෞරවනීය සමාගම’ වර්ගීකරණය කිරීමේ නිරතව සිටින අතර ගෙවුණු වසර 15දීම එහි මුල් තැනට පත්වීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමත්ව තිබේ. ඒ අනුව මෙම 2020 වසරේදී සිය 150 වැනි සංවත්සරය සමරන ජෝන් කීල්ස් සමූහයට මෙය සුවිශේෂී අවස්ථාවක් බවද සමාගම පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී LMD සඟරාව සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි සභාපති ක්‍රිෂාන් බාලෙන්ද්‍රන් මහතා, “අවංකබව, සැලකිලිමත්බව, විශ්වාසනීයත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය යන අපගේ හර වටිනාකම් ආරක්ෂා කරගැනීම සඳහා දක්වන දායකත්වය අපගේ ශක්තිමත්ම ගුණාංගයයි. එසේම මේ වටිනාකම් හරහා ලැබුණු අපගේ සාංගමික පාලන සැකැස්ම, වෘත්තීමය කළමනාකාරීත්වය සහ තිරසාර සංවර්ධන වැඩපිළිවෙල යනාදිය අපගේ මේ පොහොසත් වසර 150ක කාලය තුළදී දැකගන්නට ලැබුණා. ඒ හරහා අපේ ජනතාවට වැඩ කිරීමට හොඳම තැනක්, අපගේ හවුල්කරුවන් සමගින් වඩාත් ශක්තිමත් සබඳතාවක් ඇති කරගැනීමට මෙන්ම අපේ සමාජයන් බලගන්වන්නටත් හැකි වුණා.” යනුවෙන් පවසා තිබේ.

“එසේම අප අපගේ ව්‍යාපාර මෙහෙයවන ආකාරය සහ ජාතිය දක්වන දායකත්වය වෙනුවෙන් සිදු කරන පිළිගැනීමක් ලෙස යළිත් වතාවක් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීයම සමාගම බවට අප සමාගම නම් කිරීම ගැන බෙහෙවින්ම සතුටට පත්වෙනවා.” බාලේන්ද්‍රන් මහතා වැඩිදුරටත් පවසා ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත සමාගම් අතරින් විශාලතම සමාගම බවටද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී පත්ව තිබේ. එහිදී සමාගම යටතේ එකිනෙකට වෙනස් කර්මාන්ත ක්ෂේත්‍ර 7ක් පුරා විහිදුණු සමාගම් 70ක් මෙහෙයුම් සිදු කරයි. අද වනවිට ජෝන් කීල්ස් සමූහයේ සමස්ත සේවක සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බවද සමාගම සඳහන් කරයි.

Visits: 233