“ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් අභිබවා යා හැකි රාජ්‍ය බැංකු පද්ධතියක් අවශ්‍යයි” – රාජ්‍ය ඇමති සේමසිංහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ප්‍රධානීන්ට පවසයි

ඇතැම් රාජ්‍ය බැංකුවලින් ජනතාව දුරස්වීමට ප්‍රධානතම හේතුව, ඒවායේ අකාර්යක්ෂමතාව බවත්, එම තත්ත්වයන්ගෙන් මිදීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී එහි නිලධාරීන් සමග අද (02) පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

විශේෂයෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැනි ග්‍රාමීය ජනතාව සමග සමීප රාජ්‍ය බැංකුවල දුර්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලේ සිර වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඇතැම් රාජ්‍ය බැංකු උත්සහ දරන්නේ සිය ගණුදෙනුකරුවන්ට ණය දීමට වඩා ණය නොදී සිටීමට බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එයින්ද පීඩාවට පත් වන්නේ දුප්පත් ජනතාව බව සඳහන් කළේය. එම අකාර්යක්ෂමතාවෙන් ප්‍රයෝජන ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියෝජිතයන් අභිබවා යා හැකි රාජ්‍ය බැංකු පද්ධතියක අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය ජනතාව මුදා ගැනීම සඳහා ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් ම ජනතාව දැනුම්වත් කිරීම සඳහා වැඩමුළු සංවිධානය කිරීම, දේශන පැවැත්වීම වැනි අවශ්‍යතා සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම යනු අනාගත ආයෝජන බවත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහය ලබා දීමට තමා සූදානම් බවත් අමාත්‍යවරයා පවසා තිබේ.  

එසේම බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ මෙහි දී සොයා බැලූ අමාත්‍යවරයා පවතින ගැටලුවලට විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

Visits: 110