සැප්තැම්බර් 17 සිට කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණයට – SEC ප්‍රධානීන් අගමැතිට දන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු ලබන සැප්තැම්බර් 17 වැනිදා සිට ඩිජිටල්කරණයට ලක්වීමට නියමිතව තිබෙන බව සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානීන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (31දා) මෙම කොමිෂන් සභාවේ නියෝජිතයන් පිරිසක් අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබේ. අගමැතිවරයා වර්තමාන මුදල් අමාත්‍යවරයාද වෙයි.

නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ආරම්භ වූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා, කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ලොවට පියනැඟීමක් බව අග්‍රාමාත්‍යතුමා මුණගැසී ප්‍රකාශ කර තිබේ.

එසේම ලෝකය සමඟ ගණු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමඟින් සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ තුළින් ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ බව ද පවසා ඇත.

මෙම අවස්ථාවට එක්වූ සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහත්වරු එදිනට නියමිත ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාරදී තිබේ.

Visits: 792