‘අල්ටයර්’ හි වැඩ 2021 ජනවාරියේ අවසන් කිරීමේ ජනපති අපේක්ෂාවක්

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරෙමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ලබන ජනවාරි මාසය වන විට නිමා කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණය සඳහා මෙවැනි ඉදිකිරීම් වැදගත් බවද ජනපතිවරයා පෙන්වා දී තිබේ.

ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අල්ටයර්හි ඉදිකිරීම් නිරීක්ෂණයට  එක් වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබේ.

ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් 98%ක් පමණ දැනට අවසන්ව ඇත. වැඩ අවසන්වු විට කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක් වෙයි. බේරේ වැවට යාබද අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන  ගොඩනැගිල්ලේ වැඩ 2012 වසරේ දී ඇරඹිණ.

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත් වෙයි. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වන බව එහි ඉදිකිරීම්කරුවන් පවසයි.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි  ව්‍යාපෘතිය සඳහා සිදු කර ඇති ආයෝජනය අමරිකානු අඩොලර් මිලියන 250කි. නාගරික සංවර්ධන අධිකාරිය මෙහි ඉදිකිරීම් අධීක්ෂණය කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ප්‍රදීප් මොරායස් යන මහත්වරු නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

Visits: 102