කාර්ගිල්ස් බැංකුවේ නව MD/CEO ලෙස සෙනරත් බණ්ඩාර පත්වෙයි

මෙරට ජ්‍යෙෂ්ටතම බැංකුකරුවෙකු වන සෙනරත් බණ්ඩාර මහතා කාර්ගිල්ස් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කෙරී ඇතැයි එම බැංකුව පවසයි. 2020 සැප්තැම්බර් 08 වැනිදා සිට මෙම පත් කිරීම සිදු කෙරෙන බවත්, 2020 ඔක්තෝබර් 01 වැනිදා සිට ඔහු ධුරයේ වැඩභාර ගැනීම සිදු කරන බවත් කාර්ගිල්ස් බැංකුව සඳහන් කරයි.

2018 වසරේ සිට එම බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ මෙරට තවත් ජ්‍යෙෂ්ටතම බැංකුකරුවෙකු වන රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ලබන සැප්තැම්බර් 30 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුව පුරප්පාඩු වන ධුරය සඳහා සෙනරත් බණ්ඩාර මහතා මෙලෙස පත්වීම් ලැබ තිබේ.

මෙම නව පත් කිරිමට පෙරාතුව සෙනරත් බණ්ඩාර මහතා මීට පෙර ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද කටයුතු කර තිබේ. ඔහු ලංකා බැංකුවෙන් විශ්‍රාම යන්නේ වසර 30ක සේවා කාලයකින් පසුව බවත්, ඔහුගේ ධුර කාලය තුළදී ලංකා බැංකුව තුළ බොහෝ වෙනස්කම් සිදු වුණු බවත් කාර්ගිල්ස් බැංකුව සඳහන් කරයි.

ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වන සෙනරත් බණ්ඩාර මහතා, ලංකා බැංකුවේ පරිපාලන සහ හවුල්කාර ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. එසේම ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ඒ මහතා කටයුතු කර තිබේ.

සෙනරත් බණ්ඩාර මහතා කාර්ගිල්ස් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක ලෙස පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වන එහි සභාපති රංජිත් පේජ් මහතා, “සෙනරත් බණ්ඩාර මහතා කාර්ගිල්ස් පවුල වෙත ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ මහතා විසින් කාර්ගිල්ස් බැංකුව වෙත ලබා දෙන ඔහු සතු අත්දැකීම් සම්භාරය අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත වටිනාකමක් එක්කරාවි.” යනුවෙන් පවසා තිබේ.

එසේම මෙතෙක් කලක් එම ධුරය දැරූ රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ගෙවුණු වසර තුනක කාලය තුළදී බැංකුව වෙනුවෙන් ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන්ද රංජිත් පේජ් මහතා මෙහිදී ස්තූතිය පුදකර ඇති අතර, ඒ මහතාගේ අනාගත කටයුතු සාර්ථක වේවායැයිද සුභපැතුම් එක් කර තිබේ.

Visits: 153