අපනයන සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට පියවර

මෙරට අපනයනකරුවන් සඳහා විශාල අඩුපාඩුවක්ව පවතින අපනයන සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳඅමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විශේෂයෙන්ම අපනයන සංවර්ධනය සදහා පර්යේෂණ සිදුකිරීමටද අවධානය යොමුකරමින් මෙම අපනයන සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීම අරමුණ වී තිබේ.

පසුගියදා හෝමාගම NSBMහරිත විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණු ‘ශ්‍රී ලාංකීය අපනයන සංවර්ධනයේ ඉදිරි දැක්ම’ පිළිබඳ විශේෂ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. නව රජයේ ආර්ථික දැක්මට සමගාමීව අපනයන විෂය කෙරෙහි දක්වා ඇති පුළුල් අවධානය සැලකිල්ලට ගනිමින් පැවැත්වුණු මෙම සමුළුව, වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාවට සමගාමීව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව සංස්ථාපනය කිරිමත් සිදුවූ බව එම සංවිධායකයන් පවසයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත කෙරෙහි අවධානය යොමුකරමින් අපනයන ක්ෂේත්‍රයේ ගැටළු කඩිනමින් විසදීම සඳහා මෙය පිහිටුවා තිබේ. එහිදී ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් යොමුකළ පත්වීමේ ලිපියද එදින හිමි වූ බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, මෙරටට විශාල විදේශ විනිමය ප්‍ර‍මාණයක් ගෙන එන අපනයනකරුවන් මුහුණ දෙන ගැටළුවලට ප්‍රායෝගික සහ යථාර්තවාදී විසදුම් ලබාදීමට කටයුතු කරන බව පවසා තිබේ. එහිදී මෙරට අපනයන ඉපැයුම් දෙගුණ කිරීම සදහා උපදේශකත්වය, අනුග්‍ර‍හය සහ අපනයනකරුවන්ගේ අත්දැකීම් අමාත්‍යංශය වෙත යොමුකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීම් කර ඇත.

මේ අතර, අපනයන සංවර්ධන සැලැස්මක් සකසමින් එය අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. එසේම මෙරට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය කළමණාකරනය කිරීම අපනයනකරුවන්ට කළ හැකි බවත් ඒ වෙනුවෙන් වැඩකටයුතු සිදුකිරීමට සුදානම් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව, අපනයන වර්ධනය කිරීම සදහා ප්‍රධාන ක්‍ර‍ම තුනක් පිළිබද අවධානය යොමු කර ඇති අමාත්‍යවරයා‍ භාණ්ඩ විවිධාංගීකරණය කිරීම, වෙළදපොළ විවිධාංගීකරණය කිරීම සහ නවීකරණය කළ අපනයන ක්‍ර‍මයක් ස්ථාපනය කිරීම එහිදී වැදගත් බව අවධාරණය කර තිබේ.  

Visits: 79