සිංගර් සමාගම මැලේසියාවේ විශාලතම ඇදුම් අල්මාරි නිෂ්පාදකයා හා ගිවිසුමකට

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම, මැලේසියාවේ විශාලතම මුළුතැන්ගෙයි කැබිනෙට්ටු සහ ඇඳුම් අල්මාරි නිෂ්පාදකයා වන සිග්නේචර් සමූහ ව්‍යාපාරය සමගින් ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි. මේ හරහා ශ්‍රී ලංකාව තුළ නවීනතම මුළුතැන්ගෙයි නිෂ්පාදන සඳහා වන වෙළෙඳ පොළ වෙත පිවිසීම සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ අරමුණ බව පැවසෙයි.

මෙම එකඟතාවට අදාළව සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ මැලේසියාවේ සිග්නේචර් ඉන්ටර්නැෂනල් බීඑච්ඩී සමාගමේ පූර්ණ උපපාලිත සමාගමක් වන සිග්නේචර් මැනියුෆැක්චරින් එස්ඩීඑන්. බීඑච්ඩී. සමාගම අතර ගිවිසුම් අත්සන් තැබීම පසුගිය සතියේදී අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය හරහා සිදුව තිබේ.

මැලේසියාවේ සිග්නේචර් ඉන්ටර්නැෂනල් බීඑච්ඩී සමාගම මුළුතැන්ගෙයි කැබිනෙට්ටු සහ ඇඳුම් අල්මාරි නිෂ්පාදනයේ විශේෂඥයන් ලෙස සැලකෙයි. ඒ අනුව මෙම එකඟතාව හරහා මෙරට තුළ සිග්නේචර් නිෂ්පාදන අලෙවිය සහ ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී වෙත හිමි වෙයි. එහිදී ‘Singature’ සහ ‘Signature Kitchen’ යන සන්නාම සහ සිග්නේචර් සමාගම ඉදිරිපත් කරන අනෙකුත් වෙළෙඳ නාමද මේ යටතට අයත් වෙයි.

කෙසේ වෙතත් මෙලෙස මැලේසියානු නිෂ්පාදන මෙරටට ආනයනය කර අලෙවි කිරීම වර්මානයේදී රජය මගින් පනවා ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වන ආනයන පාලන සමගින් කෙසේ ගැලපේද යන්න පිළිබඳව ගැටලුවක් මතුව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර මෙහෙයුම් සිදු කරගෙන යාම සඳහා මැලේසියාවේ සිග්නේචර් මැනියුෆැක්චරින් එස්ඩීඑන්. බීඑච්ඩී. සමාගම ‘සිග්නේචර් කිචන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් සිය සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් පිහිටුවමින් කටයුතු කිරීමට බලාපොරොත්තු තබා ඇතැයිද වාර්තා පවසයි.

සිග්නේචර් ඉන්ටර්නැෂනල් ගෘප් සමාගම් සමූහය මේ වනවිට සිය නිෂ්පාදන රටවල් 15කට වඩා වැඩි සංඛ්‍යාවක් පුරා අලෙවි කරමින් සිටියි. එම සමාගම මැලේසියාවේ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත සමාගමකි.

Visits: 697