තුන්ද්‍රා විකුණූ ඇක්සස් කොටස් එන්ඩීබී වෙල්ත් විසින් මිලදී ගනියි

ස්වීඩන ආයෝජන අරමුදලක් වන තුන්දා (Tundra Sustainable Frontier Fund) මගින් පසුගියදා අලෙවි කළ සිය ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී සමාගමේ කොටස් මිලියන 18.3ක් මිලදී ගැනීමට මෙරට එන්ඩීබී බැංකුවට පූර්ණ අනුබද්ධිත සීමාසහිත එන්ඩීබී වෙල්ත් මැනේජ්මන්ට් (NDB Wealth) සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා පවසයි.

විශේෂයෙන්ම පසුගියදා පත් වූ නව රජය යටතේ මෙරට ඉදිකිරීම් සහ යටිතලපහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය වෙත වැඩි අවධානයක් යොමු කරනු ඇති බවට වන සර්වශුභවාදී දැක්ම අනුව මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව මෙම වාර්තාව ගෙන එමින් ඩේලිඑෆ්ටී පුවත්පත සඳහන් කරයි.

පසුගිය සතියේදී එන්ඩීබී වෙල්ත් සමාගම ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ රන්ජන් ගෝමස් සතුව තිබූ කොටස් මිලියන 24.6ක්ද මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. එහිදී රුපියල් 21.50 බැගින් කොටසක් අලෙවි වී තිබේ. අද (අගෝස්තු 29) වන විට ඇක්සස් ඉන්ජිනියරි පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 22.60ක් විය.

එහි තවත් පියවරක් තබමින් එන්ඩීබී වෙල්ත් සමාගම රුපියල් මිලියන 394ක මුදලකට තුන්ද්‍රා සමාගමෙන් මෙම කොටස් ප්‍රමාණය මිලදී ගෙන ඇත. එය ඇක්සස් සමාගමේ සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 1.8%ක් ලෙස සැලකෙයි. එහිදී කොටස් මිලදී ගැනීම කොටසක මිල රුපියල් 22.10 යටතේ සිදුව තිබේ. තුන්ද්‍රා සමාගම එම අවස්ථාව වනවිටත් ඇක්සස් සමාගමේ 13 වැනි විශාලතම කොටස්හිමිකරුවා ලෙස රැඳී සිටි බව පැවසෙයි.

වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය මගින් රටෙහි අධිවේගී මාර්ග, ගුවන් පාලම් මෙන්ම ජල සැපයුම් ඇතුළු ඉදිරි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති අනුමැතිය ඇක්සස් ඉන්ජිනියරි සමාගම වෙත වඩාත් වාසිදායක වෙනු ඇතැයි  පැවසෙයි. ඒ අනුව එම ක්ෂේත්‍රයේ සමාගම්හි  ඉදිරිය වඩාත් සුභදායක තත්ත්වයක් ගනු ඇතැයි වාර්තා වෙයි.

එසේම විවාදයකින් තොරව සම්මත වුණු රුපියල් ට්‍රිලියන 1.9ක අතුරු සම්මත ගිණුම හරහාද මෙම ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත වැඩි මුදල් ගලායාමක් සිදු කිරීමටද සැලසුම් කෙරී ඇත.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික සුමල් පෙරේරා මහතා ඇක්සස් ඉන්ජිනියරි පීඑල්සී සමාගමේ නිර්මාතෘවරයා වෙයි. එසේම ඔහු වර්තමානයේ එම සමාගමේ සභෘපතිවරයා ලෙසද කටයුතු කරයි.

Visits: 772