හර්ෂ අමරසේකර සම්පත් බැංකු සභාපති ධුරයට

සම්පත් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ශිරාන් හර්ෂ අමරසේකර මහතා පත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි. ඊයේ (2020 අගෝස්තු 27දා) පැවැති බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන 2020 අගෝස්තු 30 වැනිදා සිට හර්ෂ අමරසේකර මහතා නව සභාපති තනතුරේ වැඩභාර ගැනීමට නියමිතය.

වසර දෙකක පමණ කාලයක් සම්පත් බැංකුවේ සභාපතිවරයාව සිටි මහාචාර්ය මලික් රණසිංහ මහතා හෙට දිනයේ සිට සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග පුරප්පාඩු වන ධුරය සඳහා අමරසේකර මහතා පත් කෙරී ඇත.

මෙම නව පත් කිරීම සිදුවන අවස්ථාවේදී හර්ෂ අමරසේකර මහතා සතුව සම්පත් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකමක් නොමැති බවද බැංකුව සඳහන් කරයි.

ජනාධිපති නීතීඥයෙකු වන හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තේරී පත් වූයේ පසුගිය අගෝස්තු 18 වැනිදාය. එහිදී විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස  ඒ මහතා පත් කෙරිණි. ඒ අනුව දින 10ක කාලයක් තුළදී ඒ මහතා බැංකුවේ සභාපතිවරයා බවටද පත්ව තිබේ.

මහාචාර්ය මලික් රණසිංහ මහතාගේ විශ්‍රාම යාමත් සමගම සම්පත් බැංකුවේ  උප සභාපතිනිය ලෙස කටයුතු කළ ධාරා විජයතිලක මහත්මියද විශ්‍රාම ගොස් ඇති අතර, ඇය වෙනුවට මෙතෙක් උප සභාපතිවරයෙකු හෝ උප සභාපතිනියක පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන නැත.

සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ හර්ෂ අමරසේකර, අනිකා සේනානායක, රනිල් පතිරණ,රුෂාන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, දෙෂාල් ඩි මෙල් සහ වජිර කුලතිලක විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

පෙර ලිපි –
හර්ෂ අමරසේකරගේ අධ්‍යක්ෂ මණ්ඩල ලැයිස්තුවට සම්පත් බැංකුවත්
සම්පත් බැංකු සභාපති සහ උප සභාපතිනිය විශ්‍රාම ගනී

Visits: 373