සම්පත් බැංකු සභාපති සහ උප සභාපතිනිය විශ්‍රාම ගනී

සම්පත් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කල මහාචාර්ය මලික් රණසිංහ සහ නියෝජ්‍ය සභාපතිනිය ලෙස කටයුතු කළ ධාරා විජයතිලක යන දෙපළ එම ධුරවලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනාම බැංකුවේ විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස වසර නවයක කාලයක් සිය ධුර දැරීම මෙලෙස විශ්‍රාම යෑමට හේතුව වී තිබේ. හෙට (2020 අගෝස්තු 29) දිනයේදී මෙම වසර නවයක කාලය සම්පූර්ණ වන බවත්, එ අනුව 2020 අගොස්තු 30 වැනිදා සිට ඔවුන් දෙදෙනා සිය ධුරවලින් විශ්‍රාම ගන්නා බවත් බැංකුව සඳහන් කරයි.

2007 අංක 11 දරණ බැංකු පනතේ වගන්ති 3(2)(ii)(A) යටතේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සඳහා වන සාංගමික පාලනය අනුව මෙම තීරණය ගෙන ඇතැයිද සම්පත් බැංකුව සඳහන් කරයි.

2011 අගෝස්තු 30 වැනිදා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වන මලික් රණසිංහ මහතා 2019 අප්‍රේල් 02 වැනිදා එහි සභාපතිවරයා බවට පත්විය. එසේම 2011 අගෝස්තු 30 වැනිදා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වන ධාරා විජයතිලක මහත්මිය මේ වසරේ ජූනි මාසයේදී එහි උප සභාපතිනිය බවට පත්වූවාය.

මෙම විශ්‍රාම යෑම සිදුවන අවස්ථාව වනවිට මහාචාර්ය මලික් රණසිංහ මහතා සතුව සම්පත් බැංකුවේ කොටස් 50,135ක් හිමිව ඇති බවත්, ධාරා විජයතිලක මහත්මියට කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව වැඩි දුරටත් සඳහන් කර සිටියි.

සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ හර්ෂ අමරසේකර, අනිකා සේනානායක, රනිල් පතිරණ,රුෂාන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, දෙෂාල් ඩි මෙල් සහ වජිර කුලතිලක විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

Visits: 400