යහපාලන සමයේ රජයේ බැංකු 4ක සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

2015-2019 කාලයේ පැවැති යහපාලන රජය සමයේ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු පිළිබඳව ජනතාව සතුව කිසියම් හෝ තොරතුරු වේ නම් එම තොරතුරු ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි.

එහිදී 2020 සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර මෙම තොරතුරු ලබා දිය යුතුය. අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ ananda_sl@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට මෙම තොරතුරු යොමුකිරීමට හැකි බව එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම සිව් පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා කටයුතු කරන අතර, වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. එසේම මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකු කමිටුවේ ලේකම් ධුරය දරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව පත්කළ මෙම සිව් පුද්ගල කමිටුවේ ප්‍රථම හමුවේදී මෙම තීරණය ගත් අතර, එහි දී අදාළ බැංකුවල වෘත්තිය සමිති විසින් ද අක්‍රමිකතාවලට අදාළ ලිපිගොනු රැසක් කමිටුව හමුවට ඉදිරිපත් කෙරී ඇතැයිද මුදල් අමාත්‍යාංශය පවසයි.

Visits: 34