නෝර්වේ රාජ්‍ය ලබන සැප්තැම්බරයේ ශ්‍රී ලංකාව සමගින් නව ගිවිසුමකට

එළඹෙන සැප්තැම්බර් මාසයේදී ධීවර කළමනාකරණ මෙවලම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සමග නව ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ‍්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පවසා තිබේ.

ඊයේ සන්ධ්‍යාවේදී අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඇය මෙම කරුණු අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම 2013 සිට 2019 දක්වා කාලය තුළ නෝර්වේ රජය විසින් ඇ.ඩො. මිලියන 2.3 ක් ශ‍්‍රී ලංකාවේ ධීවර අංශයේ සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති බවද ඇය මෙහිදී සිහිපත් කළ බව නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයකින් පවසයි.

මෙම හමුවේදී ඇය පසුගිය මැතිවරණය ජයග‍්‍රහණය කිරීම පිළිබඳව අගමැති රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබේ. විශේෂයෙන්ම කෝවිඩ් -19 මාර්ගෝපදේශනයන්ට අනුගත වෙමින් මැතිවරණය සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් පැසසුම් එක් කර ඇත. එහිදී මුල  සිටම කඩිනමින් ක‍්‍රියාත්මක වීම මගින් කෝවිඞ් -19 වසංගතය පැතිරීම මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකාව සමත් වූ අයුරු ප‍්‍රශංසනීය බව ඇය අවධාරණය කර තිබේ.

“නෝර්වේ රජය ශ‍්‍රී ලංකාවේ නව රජය සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, ශ‍්‍රී ලංකා රජය සමග ඇති සවිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ දිගුකාලීන හවුල්කාරීත්වය අගය කරන බව මෙන්ම දෙරට අතර තිරසාර සාගර ආර්ථිකයන් වැනි පොදු උනන්දුවක් දක්වන ක්ෂේත‍්‍ර ගණනාවක් පවතින බව අවධාරණය කිරීමටද ඇය අමතක නොකළාය.

ශ‍්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර වාණිජ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව, පෞද්ගලික අංශයේ සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳවද මෙම හමුවේදී සුවිශේෂී අවධානය යොමු විය. නෝර්වීජියානු ආයෝජකයින් විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, සූර්ය, සුළං සහ ජල විදුලිය මෙන්ම සමුද්‍රීය අංශය කෙරෙහි උනන්දුවක් දක්වන බව ඇය එහිදී අග‍්‍රාමාත්‍යතුමා වෙත පැවසුවාය.” තානාපති කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කරයි.

කෝවිඩ් -19 ව්‍යසනය නිසා සිදු වූ ආර්ථික බලපෑම පිළිබඳවද අගමැතිතුමා සහ තානාපතිනිය අතර සාකච්ඡුාවට බඳුන් වී තිබේ. කොරොනා ව්‍යසනයේ දීර්ඝකාලීන සමාජ-ආර්ථික බලපෑම් සමනය කරගැනිම උදෙසා උපකාර අවශ්‍ය රටවලට සහාය දැක්වීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්ථාපිත  කර ඇති බහු-පරිත්‍යාග භාර අරමුදලක් සඳහා දායක වීමටද නෝර්වේ රාජ්‍යය මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී පියවර ගත් බව තානාපතිනි එස්කෙඩල් මෙහිදී පවසා ඇත.

මේ වන විට එම අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ශ‍්‍රී ලංකාවට හිමිව තිබේ.

“කෝවිඩ්-19 ව්‍යසනය හමුවේ ජාතික ආරක්‍ෂාව හා පුද්ගල නිදහස අතර මනා සමබරතාවක් පවත්වා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවද සිහිපත් කළ එතුමිය අග‍්‍රාමාත්‍යවරයා සහ අභිනව රජය වෙත ලැබී ඇති පැහැදිලි ජනවරම සියලූම ශ‍්‍රී ලාංකිකයන්වෙත වඩා හොඳ ජීවන තත්ත්ව උදා කරමින් වඩා අන්තර්ග‍්‍රාහී සමාජයක් බිහි කිරීම වෙනුවෙන් යොදා ගැනීමට හැකි වේවා’යි සුභ පැතුම් එක් කිරීමටද අමතක නොකළාය.” යනුවෙන්ද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Visits: 47