විදේශ සංචිත කළමනාකරණයට සිංගප්පූරුවෙන් පද්ධතියක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණය සඳහා අවශ්‍ය දත්ත කළමනාකරණ පද්ධතියක් සිංගප්පූරුවේ සමාගමක් වෙතින් මිලදී ගැනීමට අදාළ අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අද දිනයේදී පැවැත්වුණු කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී අනාවරණය කෙරිණි.

විශේෂයෙන්ම රටෙහි විදේශ සංචිත කළමනාකරණයේදී දැනට පවතින අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ඉදිරි වර්ධනයක් සඳහාද ඵලදායී ලෙස පහසුකම් සැලසීමට හැකිවන පරිදි මෙම නව දත්ත කළමනාකරණ පද්ධතියක් මිලදී ගැනීමේ අවශ්‍යතාව තිබී ඇතැයි පැවසෙයි.

ඒ සදහා වන කටයුතු ආරම්භ කිරීමට 2019 වසරේ ජූනි මස 07 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එකී දත්ත කළමනාකරණ පද්ධතිය සපයා, ස්ථාපනය කර, ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර තරගකාරී පදනමින් ලංසු කැඳවා තිබේ.

එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරුණු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ලංසු පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්දේශය සහ යෝජිත ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතආයතනයේ අදහස් දැක්වීම් හා නිරේදේශ සැලකිල්ලට ගනිමින් එම ප්‍රසම්පාදනය සිංගප්පූරුවේSimCorp pte Limited නම් සමාගම වෙත ප්‍රදානය කිරීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Visits: 57