කොටස් වෙළෙඳ පොළ පිට පිට තෙවැනි දිනටත් පසු බසී

කොටස් වෙළෙඳ පොළ තුළ අද (අගෝස්තු 27) දිනයේදී සිදුවූ ගනුදෙනු අතරතුරදී ප්‍රධාන සමාගම්හි දළ විදේශ ආයෝජන පිටතට ගලායාමක් පෙන්නුම් කිරීමත් සමගින්ම පිට පිට තෙවැනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක ඍණ අගයකට පත්වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් දේශීය ආයෝජකයන් තුළ පැවැති වටිනා කොටස් මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් එලෙසින්ම පැවතීම දිනයේ අගභාගයේදී වෙළෙද පොළ ගනුදෙනු යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට හේතු වී තිබේ.

ඒ අනුව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,317.87 ත් ඒකක 5,345.90 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,333.32ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 26දාට) සාපේක්ෂව එය ඒකක 2.34 ක් එනම් -0.04%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව කොමර්ෂල් බැංකුව (COMBN0000), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සහ කොමර්ෂල් බැංකුව (නිෂ්ඡන්ද) (COMB. X0000) සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 32%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 71ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 79ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+3.3), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීCLC (+1.5), සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සීGUAR (+0.9), ඩීඑෆ්සීසී බැංකුව DFCC (+0.7), සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සීCFIN (+0.6), කොමර්ෂල් බැංකුව COMB (-3.4), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.0), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (-1.3), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-1.2)  සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-1.1) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,353.27 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 26) දිනයට සාපේක්ෂව ඒකක 11.64 ක එනම් -0.49%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.2ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.89 ට සාපේක්ෂව 17%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.32 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.71%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 16.05ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 373.53ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 357.48කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 31.31ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.07කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 240.72ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.36ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 62% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය අංශය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 445ක සහ රුපියල් මිලියන 160ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 176