අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර ඇරඹීමට එක්සත් රාජධානියේ අවධානය

වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල්  මහත්මිය ඊයේ (25දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර  සහයෝගීතාවයෙන්  කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

මෙහිදී පසුගිය මැතිවරණ විජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කර ඇති වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය, අගමැතිවරයාගෙන් නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ විමසා තිබේ.

ඊට පිළිතුරු දුන් අගමැතිවරයා, පශ්චාත් COVID-19 සමයට ලෝකය සූදානම් වන බැවින් ආර්ථික සංවර්ධනයට  වර්තමානයේ රටේ ප්‍රධාන අවධානය යොමු වී ඇතැයි පවසා තිබේ.

විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය සහ දරිද්‍රතාවය තුරන් කිරීමට එහිදී  ප්‍රමුඛතාව හිමි වන බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කර ඇත.

එහිදී ඉදිරි වසර 5ක කාලය තුළදී සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සහතික කිරීම සඳහා ලබා දිය හැකි  සහයෝගීතාවය  සලකා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා මහ බ්‍රිතාන්‍ය  මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

COVID-19 තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කළ එක්සත් රාජධානි දූත පිරිස නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දෙරට අතර අධ්‍යයන හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යාමට හැකි බවද සඳහන් කර ඇත.

වැඩබලන මහ කොමසාරිස් වැන්ස්ටෝල් පැවසුවේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය රනිල් ජයවර්ධන  මහතා ද ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර වෙළඳාම තවදුරටත් වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බවත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති බවත්ය.

මීට අමතරව වරාය නගරයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ දෙරටේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය නගරය උපායමාර්ගික මර්මස්ථානයක් ලෙස   භාවිතා කළ හැකි බව සඳහන් කර තිබේ. එසේම හරිත මූල්‍ය, ජෛව විවිධත්වය, ග්‍රාමීය ආර්ථිකය සහ තිරසාර කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කර ඇත.

Visits: 38