LOLC ඉපැයීම් පිළිබඳ අපේක්ෂා බිඳ වැටීමෙන් දර්ශක අදත් ඍණ වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත සමාගම් අතරින් ඉහළ විශ්වාසයක් දිනා තිබූ LOLC සමාගමේ ලාභ ඉපැයීම් සම්බන්ධයෙන් ආයෝජකයන් තබා තිබූ බලාපොරොත්තු අද දිනයේදී යම් පමණකින් බිඳ වැටීමත් සමගම එහි කොටස් මිලෙහි වටිනාකම් දරුණු ලෙස අඩුවීම නිසා ඇති වූ බලපෑම, අද (අගෝස්තු 26දා) දිනයේදීද වෙළෙඳ පොළ දර්ශක ඍණ අගයක් වාර්තා කරවීමට හේතුවූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් සමස්තයක් ලෙස ගත්විට අනෙකුත් සමාගම් පිළිබඳ වූ ආයෝජක විශ්වාසය එලෙසින්ම පැවැති බවත් සඳහන් වෙයි.     

ඒ අනුව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,325.57 ත් ඒකක 5,358.90 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,335.66ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 25දාට) සාපේක්ෂව එය ඒකක 27.55 ක් එනම් -0.51%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී, ඩීඑෆ්සීසී බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 25%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 50ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 95ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී PDL (+1.6), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.5), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (+1.3), වැලිබල් වන් පීඑල්සී VONE (+1.0), බුකිට් ධරා පීඑල්සී BUKI (+0.9), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-13.2), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-2.4), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.5)  සහ නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.4) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,364.91 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 25) දිනයට සාපේක්ෂව ඒකක 14.76 ක එනම් -0.62%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.89ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 2.02 ට සාපේක්ෂව 29%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.32 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.67%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 17.65ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 851.88ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 834.23කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 30.95ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.41කි. එසේම ඩී.එෆ්.සී.සී. බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 402.20ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 700ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 37% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය අංශය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 646ක සහ රුපියල් මිලියන 272ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 385