LMD වර්ග කිරීම අනුව ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් 20

මෙරට මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන වර්ගීකරණය යටතේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් අතරින් මුල් 20 (TOP 20 Most Respected Entities of Sri Lanka 2020) පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි. සුප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් සමාගම මගින් LMD වෙනුවෙන් සිදු කළ විවරණයක දත්ත පාදක කරගනිමින් මෙම සමාගම් නම් කෙරී ඇත.

ඒ අනුව 2020 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් අතරින් මුල් තැන හිමිව ඇත්තේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙතයි. එම සමාගම හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,125කි. 2019 වසරේදීද එම සමාගම මුල් ස්ථානයේ පසු විය.

2 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 623ක් ලබා ගත් කොමර්ෂල් බැංකුවයි. එය පසුගිය වසරේදී මෙම දර්ශකයේ 4වැනි ස්ථානයේ පසුව ඇත. එසේම පසුගිය වසරේ තෙවැනි ස්ථානයේ පසුවුණු මාස් හෝල්ඩිංග්ස් සමාගම මේ වසරේදීත් එම ස්ථානයම හිමි කරගෙන ඇත්තේ ලකුණු 614ක් හිමි කරගනිමිනි.

කෙසේ වෙතත් පසුගිය වසරේදී 2 වැනි ස්ථානයේ පසුවූ හේලීස් සමාගම මේ වසරේදී සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. එම සමාගම ලබා ගෙන  ඇති ලකුණූ සංඛ්‍යාව 450 කි. LMD සඟරාවේ මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් අතරින් 5 වැනි ස්ථානයට පත්වීමට ඩයලොග් ආසිආටා සමත්ව තිබේ. එය හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 418 කි. එම සමාගම පසුගිය වසරේදීද එම ස්ථානයේම පසුවිය.

මේ අතර පසුගිය වසරේදී අටවැනි ස්ථානයේ පසුවුණු සම්පත් බැංකුව මේ වසරේදී 6 වැනි ස්ථානයට පත්ව තිබේ. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 325 කි. එසේම පසුගිය වසරේ 15 වැනි ස්ථානයේ තිබූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම මේ වසරේදී 7 වැනි ස්ථානයට පත්ව තිබීම කැපී පෙනෙයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණූ සංඛ්‍යාව 308 කි.

LMD සඟරාවේ මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් අතරින් 8 වැනි ස්ථානය එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් වෙත හිමිව තිබේ. එය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 272 කි. පසුගිය වසරේදී පැවැති 12 වැනි ස්ථානයේ සිට ස්ථාන හතරක් ඉහළට ඒමට එම සමාගම සමත්ව ඇත.

මේ අතර පසුගිය වසරේදී හත්වැනි ස්ථානයේ පසු වූ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මේ වසරේ දර්ශකයේදී 9 වැනි ස්ථානයට පසුබැස තිබේ. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 215 කි. බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම ලකුණු 179ක් ලබා ගනිමින් 10 වැනි ස්ථානයේ පසුවෙයි. ගිය වසරේදීද ඔවුන් එම ස්ථානයේම පසුවිය.

රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව මේ වසරේ LMD සඟරාවේ මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් අතරින් 11 වැනි ස්ථානයට පත්ව ඇත්තේ, පසුගිය වසරේ පැවැති 21 වැනි ස්ථානයේ සිට දැවැන්ත පිම්මක් පනිමිනි. එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 176කි.

එසේම සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමත් ලකුෂූ 150ක් ලබා ගනිමින් පසුගිය වසරේ පැවැති 26 වැනි ස්ථානයේ සිට මේ වසරේදී 12 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

මෙම දර්ශකය තුළ කැපී පෙනෙන තවත් එක් අවස්ථාවක් වන්නේ පසුගිය වසරේදී 6 වැනි ස්ථානයේ පසුවුණු එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම වසරේදී 13 වැනි ස්ථානයට පත්වීමයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු  සංඛ්‍යාය 147 කි. 14 වැනි ස්ථානයට පත්ව ඇති හැටන් නැෂනල් බැංකුව ලකුණු 130ක් ලබා ගෙන ඇත. එම බැංකුව පසුගිය වසරේදී මෙම දර්ශකයේ 11 වැනි ස්ථානයේ පසුවිය.

15 සහ 16 වැනි ස්ථාන හිමි කරගැනීමට හේමාස් හෝල්ඩිංග්ස් සහ එල්බී ෆිනෑන්ස් සමත්ව සිටියි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව පිළිවෙලින් 112 ක් සහ 97 කි. එහෙත් හේමාස් හෝල්ඩිංග්ස් පසුගිය වසරේ පැවතියේ 9  වැනි ස්ථානයෙහිය. එසේම එල්බී ෆිනෑන්ස් පසුගිය වසරේ පැවතියේ 23 වැනි ස්ථානයෙහිය.

මේ වසරේ LMD සඟරාවේ මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් අතරින් 17 වැනි ස්ථානය ඩිල්මා සිලෝන් තේ සමාගම හිමි කරගෙන ඇත. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 94 කි. එම සමාගම පසුගිය වසරේදී 19 වැනි ස්ථානයේ පසුවිය.

සිංගර් ශ්‍රී ලංකා සමාගම මේ වසරේදී 18 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 90ක් ලබා ගනිමිනි. ඔවුන් පසුගිය වසරේදී 14 වැනි ස්ථානයේ පසුවිය. පසුගිය වසරේ 30 වැනි ස්ථානයේ පැවැති සිලෝන් ටොබැකෝ කම්පැනි මේ වසරේදී ලකුෂු 75ක් ලබා ගනිමින් 19 වැනි ස්ථානයට පත්ව ඇත.

දර්ශකයෙහි මුල් 20 අවසන් ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමත්ව ඇත. සමාගම හිමි කරගෙන ඇති ලකුණූ සංඛ්‍යාව 75 කි. පසුගිය වසරේදී එම සමාගම මෙම දර්ශකයේ 24 වැනි ස්ථානයේ පසු විය.

Visits: 370