ලංකා දුම්කොළ සමාගම සන්නාමය අලුත් කරයි

සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී (CTC) හෙවත් ලංකා දුම්කොළ සමාගම සිය නවතම සන්නාමය අද (අගෝස්තු 26) දිනයේදී එළිදැක්වීම සිදු කර තිබේ. සිය මව් සමාගම වන බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ ගෘප් (BAT) හි සන්නාමය අනුව යමින් මෙම නව සන්නාමය නිර්මාණය කෙරී ඇතැයි සමාගම පවසයි.

ජාත්‍යන්තර බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ ගෘප් (BAT) මගින් පසුගිය මාර්තු මාසයේදී සිය නව සන්නාමය එළිදක්වා තිබේ. මෙම සන්නාමයත් සමගින්ම නව සන්නාම අනන්‍යතාවක් ඇති වන බවත්, එය වර්තමානයේ ව්‍යාපාර කටයුතු පිළිබිඹු කරවන බවත් එම සමූහය සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම සිය ව්‍යාපාර කටයුතු හරහා සිදුවන සෞඛ්‍යමය බලපෑම අවම කරවන බව පෙන්වීමද මෙම නව සන්නාමයේ හැඩයේ අරමුණ වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී හි ප්‍රකාශකයෙකු, “CTC හි නව සන්නාමය හරහා අපගේ ව්‍යාපාර සහ එහි මව් සමාගම වන බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම මේ වසර මුලදී සිදු කළ නව සන්නාම එළිදැක්වීම සමගින් සමපාත වන බව පෙන්නුම් කරනවා. මීට පෙර පැවැති දුම්කොළ පත්‍රයක හැඩය ගත් සන්නාමය ලොව අංක එකේ දුම්කොළ සමාගමක් යන්න පිළිබිඹු කරවන ඉතාමත් ශක්තිමත් සංකේතයක් ලෙස භාවිතා කෙරුණා.” යනුවෙන් පවසා සිටියි.

කෙසේ වෙතත් අපගේ මෙම නව සන්නාමය හරහා සමාගමේ වර්තමානය මෙන්ම එහි අනාගත ගමන් මග පිළිබඳව මනාව පිළිබිඹු කරවන බවත්, ඉදිරි මාස කිහිපයේදී අප අපගේ ව්‍යපාරය තුළ මෙම නව සන්නාමය අනන්‍යතාව යොදා ගැනීමට කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.

බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම මගින් 1906 වසරේදී එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ මෙරට තුළ පළමු කාර්යාලය විවෘත කරමින් දුම්වැටි නිෂ්පාදනය ආරම්භ කර තිබේ. පළමුව සිගරට් මිලදී ගෙන අලෙවි කිරීම සිදුකළ එම සමාගම 1927 වසරේදී  බ්ලූමැන්ඩල් පාරේ පිහිටි ඉපැරණි මිනිරන් ගබඩාවක් තුළ පළමු සිගරට් නිෂ්පාදන කර්මාන්තශාලාව ආරමභ කර තිබේ. 1932 වසරේදී දේශීය සමාගමක් මෙම ව්‍යාපාරය සඳහා සම්බන්ධ වූ අතර එහිදී සමාගමේ නම සිලෝන් ටොබැකෝ කම්පැනි ලෙස වෙනස් කෙරිණි.

1940 වසර වනවිට සමාගම තමන්ගේම දුම්කොළ වගා කරගනිමින් තමන්ගේම සිගරට්  නිෂ්පාදනය සිදු කිරීම දක්වා වර්ධනය විය. එසේම 1954 වසරේදී සිලෝන් ටොබැකෝ සමාගම, සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී නමි කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්ව තිබේ.

මෙරට තුළ තවමත් සිගරට් ඒකාධිකාරය සහිත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම මෙරට විශාලතම බදු  මුදල් සපයන්නා ලෙසද සැලකෙයි. පසුගිය 2019 වසරේදී පමනක් සමාගම රජයට ගෙවූ බද්දේ වටිනාකම රුපියල් බිලියන 120.4 කි.  එය රජයේ සමස්ත බදු ආදායමෙන් 6෴කි.

කෙසේ වෙතත් ආසන්න කාලසීමාවේදී මෙරට දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවත්, ඒ හේතුවෙන් සිය අදායම විශාල ලෙස අඩු වී ඇති බවත් සිලෝන් ටොබැකෝ සමාගම පවසයි. විශේෂයෙන්ම දුම්වැටි භාවිතයේ පවතින අයහපත් තත්ත්වය පිළිබඳව ප්‍රචාරය කෙරීමත්, දුම්වැටියක මිල ඉහළ දැමීමත් යන රජයේ ප්‍රතිපත්තිමය කාරණා නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

පෙර ලිපි
සිලෝන් ටොබැකෝ 2019 දී රජයට රු. බි. 120ක් බදු ගෙවලා
ඇඳිරියෙන් ඇති වූ බාධා අලෙවියට බලපෑවා – සිලෝන් ටොබැකෝ

Visits: 190