පුරන් කුඹුරු පොල් වගාවට, ෆයිනස් වෙනුවට බෑවුම් සඳහා රබර් ගස්

මෙරට තුළ දේශීය වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 03ක් වන බවත්, ඉන් බිලියන 1.8ක් පරිභෝජනයට ගැනීමත් නිසා වැඩි අපනයනයක් සඳහා වගාව ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු පෙන්වා දී තිබේ.

ඒ අනුව, උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට ජනපතිවරයා නියම කළ බව පැවසෙයි. එසේම ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරුද වගාවට යොදා ගන්නා ලෙසද හෙතෙම සඳහන් කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාද, සැප්තැම්බර් මාසයේ දී ගෙවතු මිලියන 02 ක පොල් පැල මිලියන 04ක් වගා කිරීමට පියවර ගත යුතු බවද පවසා තිබේ.

මීට අමතරව පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ. ඒ අනුව දෙමුහුන් බීජ පැල, පොල් වගාව සඳහා එක් කර ඉහළ ඵලදාවක් ලබා ගැනීමට ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව පැවසෙයි.

මේ අතර, රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600කි. එය 2020 වසරේදී ඩොලර් මිලියන 2000ක ආදායමක් බවට වර්ධනය කිරීමට සැලසුම් කර තිබූ බවද මෙහිදී අනාවරණය කෙරිණි. ඒ අනුව  රබර් වගාවේදී නව ප්‍රභේද හඳුන්වාදීමටත් බෑවුම් ප්‍රදේශවල ෆයිනස් ගස් වෙනුවට රබර් ගස් සිටුවීමට ඇති හැකියාවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී ඇත.

එසේම දේශීය රබර් වගාව සහ නිෂ්පාදකයන් දිරි ගැන්වීමට රබර් ආනයනය සීමා කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයතන දේශීයව මිලදී ගන්නා රබර් ප්‍රමාණයට සාපේක්ෂව රබර් ආනයනයට ක්‍රමවේදයක් සකස් කළයුතු බවද ඒ මහතා පවසා තිබේ. අපනයනය කෙරෙන කේප් රබර් සෙසු රටවල නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආකාරය සොයා බැලීමේ ඇති වැදගත්කමද සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු,  කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන නිලධාරීහූ සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Visits: 168