පලාලි සංවර්ධනය ගැන සංචාරක ඇමතිගෙන් ඉන්දියාවට සහතිකයක්

යාපනය පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (25දා) සංචාරක අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ජාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ඇමති ප්‍රසන්න රණතුංග මහතා, මෙම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බව පවසා ඇත. එහිදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලද වහාම දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කටයුතු ආරම්භ කරන බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන සේවා කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු යන මහත් මහත්මීන් සහභාගි වී තිබේ.

යාපනය පලාලි ගුවන්තොටුපල දෙවන ලෝක යුද්ධය සමයේදී ආරම්භ කෙරුණකි. නිදහසින් පසු මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස එයාර් සිලෝන් සිය මෙහෙයුම් ආරම්භ කල අතර දකුණු ඉන්දීය ගමනාන්ත සඳහා ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරිණ. කොටි ත්‍රස්තවාදය හේතුවෙන් 1980න් පසු ගුවන් ගමන් අඩු වූ අතර 2002 දී යාපනය පලාලි ගුවන්තොටුපල ගුවන් හමුදා පාලනයට නතුවිය.

යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේදී මෙම ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස නැවත සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.

එහිදී ගුවන්තොටුපල සංවර්ධනය සඳහා ඉන්දියානු රජය රු.මිලියන 300ක ප්‍රධානයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබුණි. අදාළ අවබෝධතා ගිවිසුම සැකසෙන්නේ ඒ සඳහායි. මේ යටතේ පැම්ණිමේ හා පිටත්වීමේ ගුවන් මගී හෝ ගුවන් මලු මෙහෙයුම් කටයුතු සඳහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථානගත කිරීම මෙන්ම මගී පර්යන්තය පුළුල් කිරීමට ද අපේක්ෂිතව තිබේ.

Visits: 30