කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට

කිතුල් සහ තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු පෙන්වා දී තිබේ.

ඒ අනුව කිතුල් සහ තල් වගා ප්‍රවර්ධනයටත් ඒ ආශ්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගැන්වීමටත් කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත. එහිදී කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.

එහිදී නායගිය ප්‍රදේශ කිතුල් වගාවට යොදා ගැනීමටත්, තල් ගස් කැපීම තහනම් කෙරෙන නීති දැඩි කිරීමටත් මෙහිදී යෝජනා වී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙස අමාත්‍යාංශයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා විසින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බවත් පවසයි.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු,  කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන නිලධාරීහූ සහ වගා සහ නිෂ්පාදන ආයතනවල නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව තිබේ.

Visits: 95