ඉහළ යමින් තිබූ කොටස් වෙළෙඳ පොළ දර්ශක අද පහත වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ඊයේ (අගෝ්ස්තු 20) දිනය තෙක්ම පැවැති ධනාත්මක ලක්ෂණය අද  (අගෝස්තු 25දා) දිනයේදීද ඍණාත්මක අවස්ථාවකට පත්වීමක් දක්නට ලැබුණි. එහිදී විශේෂයෙන්ම ආයෝජකයන් මාසය අවසානයේ ලාභ හිමිකරගැනීම් වෙත යොමුවීම සහ විදේශ ආයෝජන පිටතට ගලායෑම් ඒ සඳහා බලපෑ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.   

මේ අතර, විදේශ ණය ආපසු ගෙවීමේ පොරොන්දු නියමිත කාලයේදී සිදු කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශ්වාසනීය ප්‍රකාශයක් සිදු කිරීමද කොටස් වෙළෙඳ පොළ ආයෝජක විශ්වාසනීයත්වය යම් පමණකින් හෝ තවදුරටත් ඉහළ තබා ගැනීමට හේතු වී ඇතැයිද එම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,346.51 ත් ඒකක 5,390.32 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,363.21ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 25දාට) සාපේක්ෂව එය ඒකක 22.58 ක් එනම් -0.42%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව කොමර්ෂල් බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 37%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 67ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 96ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටා කෝර්ප් පීඑල්සී MELS (+2.1), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+1.4), ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+1.2), කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී CARG (+1.2), ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී TFIL (+0.9), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.6), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-4.0), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), කොමර්ෂල් බෑන්ක් පීඑල්සී COMB (-3.2)  සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-2.6) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,379.67 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 24) දිනයට සාපේක්ෂව ඒකක 19.31 ක එනම් 0.80%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.02ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.57 ට සාපේක්ෂව 29%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.33 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.25%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 31.09ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 697.56ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 666.47කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 30.12ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.00කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 333.56ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 697ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 35% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ ආහාර, පානවර්ග සහ දුම්වැටි අංශය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 449ක සහ රුපියල් මිලියන 431ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 264