වෙළෙඳ පොළේ තිරසාරත්වය සඳහා දේශීය ආයෝජක දායකත්වය තවදුරටත්

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ පසුගිය සතියේදී පැවැති ධනාත්මක ලක්ෂණ තවදුරටත් පවත්වා ගෙන යමින් අද දිනයේදීද (අගෝස්තු 24දා) බැංකු සහ නිෂ්පාදන අංශයේ කොටස් වෙත ඉහළ ආයෝජන ආකර්ෂණයක් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහෙත් දිනය නිමාවට ආසන්නයේදී දර්ශක වටිනාකම් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව යම් ඍණ අගයකට පත්වීමේ අවස්ථාවක් පෙන්නුම් කළද, දේශීය ආයෝජකයන් විසින් වටිනා කොටස් මිලදී ගැනීම සඳහා දැක්වූ ගැණුම්බරතාව වෙළෙඳ පොළ තිරසාරත්වය සඳහා වන ගම්‍යතාව තවදුරටත් ධනාත්මකව පවත්වාගෙන යාමට දායකත්වයක් සැපයූ බව එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද (2020 අගෝස්තු 20) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,377.9 ත් ඒකක 5,403.73 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,385.79ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (අගෝස්තු 21දාට) සාපේක්ෂව එය ඒකක 3.41 ක් එනම් +0.06%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව  ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සීහි සිදු වූ ගනුදෙනුව සමස්ත පිරිවැටුමෙන් 1%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 64ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 100ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+8.8), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+7.1), පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී PLC (+1.4), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+1.0), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+1.0), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් කම්පැනි පීඑල්සී CLC (-2.7), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.0), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී CINS (-1.8), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.7)  සහ ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-1.6) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,398.98 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (අගෝස්තු 21) දිනයට සාපේක්ෂව ඒකක 4.80 ක එනම් 0.20%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.57ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.83 ට සාපේක්ෂව 14%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.54 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.10%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 19.45ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 179.89ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 160.43කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.45ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.32කි. එසේම ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 109.19ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 460ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ ආහාර, පානවර්ග සහ දුම්වැටි අංශය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 440ක සහ රුපියල් මිලියන 277ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 136