එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී මිලදී ගැනීමට ලක්මා හෝල්ඩිංග්ස් එකඟතාවක

මැලේසියාවේ එම්.ටී.ඩී. කැපිටල් බී.එච්.ඩී. (MTD Capital BHD) සමාගමේ හිමිකාරීත්වය සහිත එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී (MTD Walkers Plc) සමාගම මිලදී ගැනීම සඳහා සීමාසහිත ලක්මා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම එකඟතාව පළ කර ඇතැයි එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඒ අනුව එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 152,183,583ක කොටස් ප්‍රමාණයක් එනම්, සමාගම මගින් නිකුත් කර ඇති කොටස් අතරින් 90.78%ක ප්‍රතිශතයක් මෙලෙස මිලදී ගැනීමට ලක්මා හෝල්ඩිංග්ස් සමාගම කටයුතු යොදා ඇත.

මෙම කොටස් විකිණීම සහ මිලදී ගැනීමේ එකඟතාව 2020 අගෝස්තු 20 වැනිදා දිනයේදී මැලේසියාවේ එම්.ටී.ඩී. කැපිටල් බී.එච්.ඩී. සමාගම සහ ලක්මා හෝල්ඩිංග්ස් සමාගම අතර ඇති වූ බවත් සඳහන් වෙයි.

මුදල් අර්බුදයට ලක්ව ඇති එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගම මේ වසර ආරම්භයේදී ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා උනන්දුවක් දැක්වූ අතර, මෙරට සුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න මහතාට අයත් සීමාසහි රෑන්ක් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම (Rank Holdings (Pvt.) Ltd)  මගින් එය මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබුණි.

එහෙත් පසුව කොළඹ කොටස් වෙළෙඳ පොළ දැනුවත් කළ මැලේසියාවේ එම්.ටී.ඩී. කැපිටල් බී.එච්.ඩී. සමාගම රවී විජේරත්න මහතා සමග මෙම ගනුදෙනුව සිදු නොවන බව ප්‍රකාශ කර තිබුණි. එම අවස්ථාවේදීද පෙර සඳහන් කළ කොටස් 90.78%ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට යෝජනා වී තිබූ අතර, එය සමාගමේ මව්සමාගම මගින් දරමින් තිබූ කොටස් 152,183,583 ක් විය.

ඒ අනුව වෙනත් ආයෝජකයෙකු වෙත එම සමාගම යොමු වූ අතර මාස හයකට පසුව ලක්මා හෝල්ඩිංග්ස් සමාගම ඊට කැමැත්ත පළ කර තිබෙන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් මෙම මිලදී ගැනීමත් සමගම දැනට එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගම සතුව ණය හිමිකරුවන් සඳහා ගෙවීමට ඇති ණය පියවීමට එම සමාගමට සිදුව තිබෙන බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ඖෂධ සහ කුළු බඩු, ලුණු සහ ගම්බිරිස්,  කරාබු නැටි සහ කුරුඳු ඇතුළු ආහාර නිෂ්පාදන නිපදවීම සහ සැපයීමේ ව්‍යපාරයේ නිරත ලක්මා හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විදෙස් ර ටවලට අපනයනය මෙන්ම දේශීය සුපිරි වෙළෙඳ සැල් ජාල වෙත මෙම නිෂ්පාදන අලෙවි කිරීමත් සිදු වෙයි.

ලක්මා හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා වන්නේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතාය. ඒ මහතා ඔස්ට්‍රේලියාව තුළ විශ්වවිද්‍යාල උපාධි හයක් හිමි කරගෙන ඇති අතර, එවැනි වැඩිම උපාධි ප්‍රමාණයක් හිමි කරගත් එකම ලාංකිකයා ලෙසද සැලකෙයි.

සිනමා, රූපවාහිනි සහ වේදිකා නාට්‍ය නිෂ්පාදනයටද දායක වී ඇති ඒ මහතා මේ දක්වා සිනමා පට 17ක්, ටෙලිනාට්‍ය 5ක් සහ වේදිකා නාට්‍ය 2ක් ඇතුළුව නිර්මාණ 24 ක නිෂ්පාදකයා ලෙස කටයුතු කර ඇත.

මෙලෙස එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගම මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා, මෙම අත්පත් කරගැනීමට අදාළ නීතිමය කටයුතු නිත්‍ය පාට්නර්ස් සමාගම සහ මූල්‍යමය මැදිහත්වීම ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් සමාගම හරහා සිදු වුණු බව සඳහන් කර සිටියි.

පසුගිය මැයි 06 වැනිදා සිට ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද පත්වීම් ලබා තිබේ.  

මේ අතර, මෙම ගනුදෙනුවත් සමගින්ම අද දිනයේ සිට එම්.ටී.ඩී. වෝල්කර්ස් පීඑල්සී සමාගම වෙත නව අධ්‍යක්ෂවරුන් දෙදෙනකුද පත්වී තිබේ. ඒ අනුව ආචාර්ය සේනක හිරිපිටිය ආර්නෝල්ඩ් ද සිල්වා, මුන්හේනගේ ලිලානි කුමාරි යන මහත්ම මහත්මීන් මෙලෙස පත්වීම් ලැබ ඇතැයි සමාගම දන්වා සිටියි.

Visits: 742