ඇමති දයාසිරිට දුන්න බතික් ඇදුම ගැන බුද්ධි බතික් කතා කරයි

පසුගියදා අගෝස්තු 20 වැනිදා ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා සහභාගි වූ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සැරසී සිටි බතික් ආශ්‍රිතව නිර්මාණය කළ ජාතික ඇඳුම පිළිබඳව පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.

මේ අතර එම බතික් නිර්මාණය සිදු කළ බුද්ධි බතික් ආයතනය එය අවස්ථාවක් කරගනිමින් සිය සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය. ඒ එම සමාගම සිය ට්විටර් ගිණුම තුළ අමාත්‍යවරයාගේද ඡායාරූපයක්ද සමගින් පළ කර තිබූ පෝස්ටුවක්  හේතුවෙනි.

ඇතැමුන් මෙම ක්‍රියාව ලංකාවේ බතික් කර්මාන්තය යළිත් ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට වටිනා අවස්ථාවක් ලෙස පෙන්වා දී ඇති අතර. ඇතැමුන් මෙය එක් සන්නාමයක් පමණක් ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ අවස්ථාවක් බවටද පෙන්වා දී තිබුණි.

ඒ අතරින් ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන චාන්දනී කිරින්දේ මහත්මිය සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කර තිබුණේ “මෙය සන්නාමය පිළිබඳ ගැටලුවක් නොවේ. අමාත්‍යවරයෙකු එක් සන්නාමයක පමණක් නිරූපන ශිල්පියෙකු ලෙස දැකීමට අපට අවශ්‍ය නැත.” යනුවෙනි.

ඊට පිළිතුරු ලබා දී ඇති බුද්ධි බතික් ආයතනය, “අමාත්‍ය දයාසිරි කිසිවිටෙකත් අපේ සන්නාමය ප්‍රසිද්ධ කිරීම සඳහා දායක වුණේ නැහැ. අපි මෙතැනදී ඔහු අපේ නිෂ්පාදනයක් ඇඳ සිටීම ගැන ගෞරවය පුද කරමින් ප්‍රසිද්ධ ඡායාරූප කිහිපයක් අපගේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු කළා විතරයි.” යනුවෙන් පවසා ඇත.

මේ අතර මාධ්‍යවේදීනි චාන්දනී කිරින්දේ වෙත ආරාධනයක්ද සිදු කරන බුද්ධි බතික් ආයතන සිය එකිනෙක වෙනස් බතික් නිර්මාණකරුවන් හමුවී ලංකාවේ බතික් කර්මාන්තය පිළිබඳව ලිපියක් සකස් කරන්නේ නම් එය වඩාත් වටිනා බව සඳහන් කරයි. එහිදී සිය කොස්වාඩිය ගම්මානයෙහි පමණක් බතික් නිර්මාණකරුවන් 20 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටින බවත්, දිවයින පුරාම ඊටත් වඩා පිරිස් සිටින බවත් එම ආයතනය පවසයි.

Visits: 162