අරුණි ගුණතිලක සන්ෂයින් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25කට අත්දැකීම් සහිත විශේෂඥවරියක ලෙස සැලකෙන අරුණි ගුණතිලක මහත්මිය සන්ෂයින් හෝල්ඩිංගිස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

2020 අගෝස්තු 20 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. එහිදී  විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ඇය පත් කෙරී ඇත. ඇය අවදානම් කළමනාකරණය, ණය, විගණන සහ ව්‍යාපාර සමුප්පාදනය මෙන්ම දේශීය සහ ජාත්‍යන්තර බැංකු තුළ නායකත්ව තනතුරු දැරීම සම්බන්ධයෙන්ද අත්දැකීම් සහිත තැනැත්තියක බව සන්ෂයින් හොල්ඩිංගිස් පීඑල්සී පවසයි.  

අරුණි ගුණතිලක මහත්මිය අවසන්වරට මහජන බැංකුවේ හිටපු සාංගමික බැංකුකරණ ප්‍රධානී ධුරය දරා ඇත. එහිදී ඇයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් සමගින් ගනුදෙනු කර ඇතැයි සමාගම පවසයි. ඊට පෙර ඇය කොමර්ෂල් බැංකුවේ ණය අංශයේ ප්‍රධානිය ලෙස කටයුතු කළාය. එසේම ඇය ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටඩ් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ණය අංශයේ ප්‍රධානී ධුරයද දරා තිබේ.

එක්සත් ජනපදයේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ, හාර්වර්ඩ් නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උසස් උපාධියක් හිමි කරගෙන ඇති ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය පිළිබඳ ගෞරව උපාධියක්ද හිමි කරගෙන ඇත. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරයි.

ඇය සන්ෂයින් හොල්ඩිංග්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ ධුරයට අමතරව ඕවර්සීස් ස්කූල් ඔෆ් කලම්බූ හි භාරකාර මණ්ඩලයේ සාමාජිකාවක මෙන්ම, ටී ස්මෝල් හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවකද වෙයි.

Visits: 216