ජූලි මාසයේදී උද්ධමනය පහළට

2020 ජූලි මාසයේදී මෙරට ජාතික උද්ධමනය 6.1%ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එය පසුගිය ජූනි මාසයේදී වාර්තා කළ 6.3% හා සාපේක්ෂව උද්ධමනයේ යම් පහළ යෑමක් ලෙස සටහන්ව ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස පාදක කරගනිමින් මෙම උද්ධමනය මනිනු ලබයි.

මෙහිදී 2020 ජූනි මාසයේදී 13.3%ක්ව පැවැති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජුලි මාසයේදී 12.9% දක්වා පහළ යාමත්, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවැති 0.8% සිට ජූලි මාසයේදී 1% දක්වා ඉහළ නැග තිබේ.

එසේම වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනෙස, 2020 ජූනි මාසයේ පැවැති 5.6% සිට 2020 ජූලි මාසයේදී 5.9% දක්වා ඉහළ යාම සිදුව තිබේ.

එහිදී ආහාර කාණ්ඩයේ මිල ගණන් 0.15%කින් පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ ඒ හා සමාන ප්‍රතිශතයකින් සිදු වූ මිල ඉහළ යෑම මගින් තුළනය වීම මේ සඳහා හේතු වී තිබේ. ඒ අනුව, 2020 ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, රතු ළූණු, දෙහි සහ සහල් මිල ගණන්වල පහළ යෑමක්ද ආහාර නොවන කාණ්ඩයෙහි ආපනශාලා සහ හෝටල්, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ සහ සෞඛ්‍ය යන උපකාණ්ඩවල අයිතමයන්හි මිල ගණන්වල ඉහළ යෑමක්ද වාර්තා වී තිබේ.

එසේම ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 ජූනි මාසයේදී පැවැති 4.4% සිට 2020 ජූලි මාසයේදී 4.5% දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ජුනි මාසයේදී පැවැති 4.6% සිට 2020 ජූලි මාසයේදී 4.5% දක්වා පහළ යාම සිදු වී තිබේ.

Visits: 142