හිටපු EDB සභාපතිනිය සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)  හිටපු සභාපතිනිය/ප්‍රධාන විධායක නිලධාරිනිය වූ චන්ද්‍රකාන්ති ඉන්දිරා මල්වත්ත මහත්මිය DSI සමූහ ව්‍යාපාරයට අයත් සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි. පසුගිය අගෝස්තු 14 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදුව තිබේ.

ස්මැසන් ඉන්ටර්නැෂනල් සමාගේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජී.එච්.ඒ. විමලසේන මහතා පසුගිය අගෝස්තු 14 වැනිදා එම ධුරයෙන් ඉවත්වීමත් සමගින් හිස් වූ පුරප්පාඩුව සඳහා මල්වත්ත මහත්මිය තෝරාපත් කරගෙන තිබේ.

මෙම නව පත් වීමත් සමගින්ම ඉන්දිරා මල්වත්ත මහත්මිය සතුව සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගමේ කිසිදු කොටස්  හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

1962 වසරේදී පිහිටවුණු DSI සැම්සන් සමූහ සමාගමේ පරිපාලිත සමාගමක් වන සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගම 1988 වසරේදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබේ. රබර් පාදක නිෂ්පාදන සිදු කරන සමාගමක් වන එහි නිෂ්පාදන මූලික වශයෙන් අපනයන වෙළෙඳ පොළ සඳහා යොමු කෙරේ.  එහි කර්මාන්තශාලාව ගාල්ල බද්දේගම පිහිටා තිබේ. උණු වතුර බෝතල්, රබර් මැට්, රබර් බිම් ඇතුරුම් යනාදිය එහි නිපදවෙයි. ඊට අමතරව තවත් රබර් සහ පීවීසී ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් දේශීය වෙළෙඳ පොළ වෙතත් අලෙවි කරයි.

ඉන්දිරා මල්වත්ත මහත්මිය පසුගිය රජය සමයේ 2015 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වීම් ලැබුවාය. ඇය එම මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවටද ඉතිහාසයට එක්ව සිටියි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලබා ඇති ඉන්දිරා මල්වත්ත මහත්මිය ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිළිබඳව මිශ්‍ර උපාධිධාරිණියකි.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වී ඇති ඇය ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ලංකා තේ ප්‍රවර්ධන කාර්යාංශයේ රාජකාරි කටයුතු කර ඇත. එසේම ඇය රජයේ මුල් පෙළේ අපනයන ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද වසර 40කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත තැනැත්තියකි.

මීට පෙර ඇය ජාතික ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ඩිවෙලොප්මන්ට් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම යනාදියේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර තිබේ. එසේම ඇය ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ සහ බිම්මල් සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරිය ලෙසද කටයුතු කර ඇත.

2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දිරා මල්වත්ත මහත්මිය අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූවාය. ඇගේ නායකත්වය යටතේ මෙරට තුළ ජාතික අපනයන ප්‍රතිපත්තියක් සකස් කරගැනීම සඳහාද කටයුතු සැලසිනි.

2019 ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම නොවැම්බර් 18 වැනිදා එය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

මේ අතර මේ වසරේ පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට ඇය කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේද විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් වූවාය.

Visits: 113