නව රජයේ පළමු කැබිනට් හමුවත් සමග දේශීය ආයෝජකයන්ගේ උනන්දුව ඉහළට

පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැත්වූ 2020 මහ මැතිවරණයෙන් තේරී පත් වූ නව රජයේ පළමු කැබිනට් හමුව අද (අගෝස්තු 19දා) දිනයේදී පැවැත්වීමත්, ව්‍යාපාර සඳහා වන වත්මන් රජයේ මිත්‍රශීලී නැඹුරුතාවත් යන කාරණා සමගින් අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජක විශ්වාසනීයත්වය ඉහළ නැගි බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. එහිදී ජනප්‍රිය සමාගම් සඳහා ආයෝජකයන් මහත් කැමැත්තක් පෙන්නුම් කළ අතර, ඒ සියල්ලගේම ප්‍රතිඵල ලෙස දිනය අවසානයේ දැවැන්ත පිරිවැටුමකට හිමිකම් කීමට හැකි වී තිබේ.        

ඒ අනුව අද (2020 අගෝස්තු 19) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,293.35 ත් ඒකක 5,358.26 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,351.03ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 18දාට) සාපේක්ෂව එය ඒකක 71.11 ක් එනම් +1.35%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව සිදු වූ ගනුදෙනු හරහා කොමර්ෂල් බැංකුව, ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් අද දිනයේදී සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 33%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 120ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 50ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+15.27), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+12.61), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+10.10), කොමර්ෂල් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+5.42), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.46), ලයන් බෘවරී සිලෝන් පීඑල්සී LION (-6.85), හේලීස් පීඑල්සී HAYL (-1.34), කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී CARG (-1.04), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-0.98)  සහ ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී ASPH (-0.80) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,370.29 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 18) දිනයට සාපේක්ෂව ඒකක 39.15 ක එනම් 1.68%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.82ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.73 ට සාපේක්ෂව 121%ක කැපී පෙනෙන ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.52 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.68%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 346ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 1,048ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 720 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 28.95ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1.94කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 416.5ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.49ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 39% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ආහාර, පාන හා දුම්කොළ අංශය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 843ක සහ රුපියල් මිලියන 739ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 310