ඖෂධ නිෂ්පාදන නව රාජ්‍ය අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ පැසසුම්

දේශීය සහ බටහිර ඖෂධ කර්මාන්තය සවිබලගැන්වීම සඳහා තීරණාත්මක පියවරක් ලෙස ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට නව රජය ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සිය කෘතඥතාව පළකර සිටින බව පවසයි.

අත්‍යවශ්‍ය ඖෂධ මෙරට ජනතාවට ලබාදීම සඳහා දේශීයව බටහිර ඖෂධ නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් දක්වන දායකත්වය පිළිබඳ සැලකීමේදී මෙම තීරණය අතිශය වැදගත් පියවරක් බවත් එමඟින් මෙරට අනාගතය සුබවාදී කිරීම සඳහා නව රජය කෙරෙහි සුබවාදී බලාපරොත්තු තැබීමට හැකිවී ඇති බවත් එම සංගමය අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මෙන්ම Navesta Pharmaceuticals හි සභාපති සංජය ජයරත්න මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සාදරයෙන් පිළිගන්නා බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටින ඒ මහතා, “බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා යන ගමනේදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සමඟ කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” යනුවෙන්ද පවසා සිටියි.

“දේශීයව නිෂ්පාදනය කෙරෙන බටහිර ඖෂධ සහ ඖෂධ නිෂ්පාදකයින් නියෝජනය කරන සංගමය ලෙස අප, අභිනවයෙන් පත්වූ රජයේ ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයක් ස්ථාපනය කිරීම පිළිබඳ නව රජයට අපගේ ස්තූතිය පිරිනමනවා. ස්වයංපෝෂිත බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා රජය විසින් දී ඇති ප්‍රමුඛතාව එමඟින් පැහැදිලිවන අතර එය සමස්ත ඖෂධ කර්මාන්තයට මහත් දිරියක් වනවාට නොඅනුමානයි. දැරිය හැකි මිලකට උසස් ම ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු ඖෂධ වෙනුවෙන් සැමවිට පෙනී සිටි අප සංගමය, සාධාරණ මිලට ඖෂධ මෙරට ජනතාවට ලබාදීම සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉදිරියේදීත් කැපවනවා.” ඒ මහතා සඳහන් කරයි.

නව කර්මාන්තශාලා ස්ථාපනය කිරීම හා දැනට පවතින පහසුකම් වැඩිදියුණු කිරීමට පසුගිය වසර පහක කාලය පුරා ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයන් විසින් රු. බිලියන 15 ක් ක්‍රියාකාරී ලෙස ප්‍රති ආයෝජනය කර ඇතැයිද හෙතෙම පවසයි. ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සහ අපනයනය සඳහා පුළුල් පරාසයක ඖෂධ සහ යටිතල පහසුකම් ගොඩනැගීමේ හැකියාව වර්ධනය කිරීම එම ආයෝජනවල අරමුණ විය.

මේවන විට දේශීයව නිෂ්පාදනය කෙරෙන බටහිර ඖෂධ වෙළෙඳපොළ තුළ 15% ක හිමිකාරිත්වයක් දරන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රමිතියෙන් උසස් ඖෂධ ලබාදීමේ අරමුණින් ගුණාත්මක බවින් ඉහල ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට කැපවී සිටින බවත් පවසයි.

එසේම දේශීයව බටහිර ඖෂධ නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් සඳහාවන නිල සංගමය ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රධාන පෙළේ පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ඖෂධ කර්මාන්තයේ උන්නතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා නිරන්තරයෙන් සාකච්ඡාවන්හිද නිරතව සිටියි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අනුග්‍රාහකත්වය යටතේ බලයලත් වෙළෙඳ සංගමයක්වන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙරට බටහිර ඖෂධ නිෂ්පාදනයට සහ බෙදාහැරීමට සම්බන්ධ සාමාජිකයන්ගෙන් පමණක් සැදුම්ලත් සාමාජික පිරිසකගෙන් සමන්විත වේ. එම සංගමයේ ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල පරිශ්‍රයේ පිහිටා ඇති අතර (011) 5588836  අංකයෙන් එම සංගමය සමඟ සම්බන්ධ විය හැක.

Visits: 48