කූනිස්සන් වගාවකට BOI සහ HTCey Aqua Culture අතර එකඟතාවක්

පුත්තලමේ කාරිකට්ටි ප්‍රදේශය තුළ කූනිස්සන් වගා ගොවිපොළක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ HTCey Aqua Culture පෞද්ගලික සමාගම අතර එකඟතාවකට අත්සන් තැබීම පසුගියදා සිදු වුණු බව  එම මණ්ඩලය පවසයි. මෙය කූනිස්සන් පිලවු මිලියන 12ක ධාරිතාවක් සහිත ගොවිපොළක් බව පැවසෙයි.

මෙහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සුසන්ත රත්නායක මහතා සහ HTCey Aqua Culture පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මන්සූර් හසන් සහ අධ්‍යක්ෂිකා සිතාරා හෆීල් යන පිරිස් ඊට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වන ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.8 කි. එහි දැනට ඇති අක්කර 16ක කූනිස්සන් ගොවිපොළක් මෙලෙස නවීන තාක්ෂණය යොදා ගනිමින් කූනිස්සන් ඇති කිරීමට සහ කළමනාකරණය කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.

HTCey Aqua Culture පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මන්සූර් හසන් මහතා අදහස් දක්වමින්, “මෙතැනදී ඉහළ ඝනත්වයක් සහිත පොකුණු යොදා ගැනීමත්, එක් වටයකදී ඉහළ නිෂ්පාදිතයක් ලබා ගැනීමේ ක්‍රමවේදත්, බලශක්තිය භාවිතය වඩාත් කාර්යක්ෂම කිරීමත්, වගකීම් සහගත ජල කළමනාකරණයක් සිදු කිරීමත් යනාදිය ඇතුළත් වෙනවා.” යනුවෙන් පවසයි.

එසේම මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ වන්නාමෙයි ප්‍රදේශයේ අක්කර 37ක භූමියක ගොඩබිම පිහිටි කූනිස්සන් වගාවක් ඉදි කිරීමට කටයුතු යොදන බවත්, මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එවැනි ආකාරයේ පළමු ව්‍යාපෘතිය බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

HTCey Aqua Culture පෞද්ගලික සමාගම සුප්‍රසිද්ධ HTCey Group සමූහයේ සාමාජික සමාගමකි. ඒ යටතේ HTCey Agriculture and Livestock (තවත් ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපාරයකි) සහ HTCey Leisure නම් දේශීය ගමනාන්ත කළමනාකරණ සමාගමද පවතී.

Visits: 48