අක්බාර් බ්‍රදර්ස්හි අලි අස්ඝාර්, අමානා බැංකුවේ සභාපති පුටුවට

අමානා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට සුප්‍රසිද්ධ තේ අපනයන සමාගමක් වන අක්බාර් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ට විධායක අධ්‍යක්ෂවරයා වන අල් අස්ඝාර් අක්බාරලි මහතා පත්ව ඇතැයි එම සමාගම පවසයි.

2020 අගෝස්තු 15 වැනිදා සිට මෙම නව පත්වීම සිදුව තිබේ. අමානා බැංකුවේ සභාපතිවරයා ලෙස වසර නවයක කාලයක් ධුරය දැරූ ඔස්මාන් කසීම් මහතා පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මේ වනවිට අක්බාර් බ්‍රදර්ස් (පෞද්ගලික) සමාගමේ නිෂ්පාදන, දේපළ සංවර්ධන, හෝටල් සහ නිවාඩු, සෞඛ්‍ය ආරක්ෂාව, බලශක්ති උත්පාදනය, ඇසුරුම්කරණය සහ මුද්‍රණය, බහාලුම් සහ පාරිසරික සේවා යනාදී ක්ෂේත්‍ර රැසක් පුරා විහිදුනු සමාගම්වලද අලි අස්ඝාර් අක්බාරලි මහතා අධ්‍යක්ෂධුර දරයි.

ඒ අනුව ඒ මහතා Renewgen (Pvt) Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, Windforce (Pvt) Ltd, Heremitage Resorts (Pvt)Ltd , Uthurumaafaru Holding (Pvt) Ltd Maldives, Lhaviyani Holdings (Pvt) Ltd and Cocoon Investments (Pvt) Ltd Maldives යන සමාගම්වල සභාපතිවරයා ලෙසත්, ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරයි.

අලි අස්ඝාර් අක්බාරලි මහතා මෙරට වෙත ලබා දී ඇති දායකත්වය වෙනුවෙන් දේශබන්දු ලංකාපුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලබා දී තිබේ. එසේම අද වනවිට ඒ මහතා ජෝර්දානයේ කොන්සාල්වරයා ලෙස ගරු සේවයක් සිදු කරයි.  ලංකාවේ Classic Car Club of Ceylon වෙනුවෙන් ඒ මහතා “Classic and Vintage Automobiles of Ceylon” නම් ග්‍රන්ථයද රචනා කර තිබේ.

Visits: 176