මත්තල වී ගබඩා කිරිමෙන් සිදු වූ පාඩුව ගැන සොයයි

යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදු වූ හානිය පිළිබද ව ගණනය කර නිවැරිදි වාර්තාවක් වහාම ලබා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දුන් බව එම අමාත්‍යාංශය පවසයි. එහිදී සතියක් තුළ එම වාර්තාව තමන්ට ලැබිය ඇමතිවරයා අවධාරණය කර තිබේ.

ගුවන් තොටුපළ විෂයභාර කැබිනට් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් සේවා හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් තොටුපළ ඉදිරි කටයුතු පිළිබද පැවති විශේෂ සාකච්ඡාවක දි ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ. කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රවණාගාරයේදී පසුගියදා (14) මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

“මෙම සාකච්ඡාවේ දී වෘත්තිය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ මත්තල වී ගබඩා කිරීම නිසා සිදු වු හානිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවැරිදි තක්සේරුවක් මෙතෙක් කර නොමැති බවයි. ඒ පිළිබදව ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම සමාගමේ මූල්‍ය ප්‍රධානියාගෙන් විමසු විට ඔහු ද එය පිළිගත්තේය. ඇමතිවරයා මෙහිදි අවධාරණය කළේ මේ පිළිබද ව නිවැරිදි තක්සේරුවක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි.” අමාත්‍යාංශය පවසයි.

පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2015 යල කන්නයේ දී හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේ  කාර්ගෝ ගොඩනැගිල්ලක වී මෙට්‍රික් ටොන් 4000 ක් ගබඩා කිරීමට කටයුතු කළේ යල කන්නයේ දී වි ගබඩා කිරීම සදහා අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති බව පවසමිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 8100 ක් ගබඩා කිරීම සදහා පහසුකම් තිබිය දි මත්තල ගුවන් තොටුපළේ වි ගබඩා කළ බවට එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ නාමල් රාජපක්ෂ මහතා යහපාලන රජයට චෝදනා කළේය.

එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරුන් වන චරිත රත්වත්තේ සහ ආර්.පාස්කරලිංගම් යන මහත්වරුන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිම සදහා උපදෙස් ලබා දී තිබුණි.

වී ගබඩා කිරීම සදහා යොදා ගැණුනේ මත්තල ගුවන් තොටුපළේ කෝටි 200ක අධික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි. එක්ස් රේ ස්කෑන් යන්ත්‍ර, අධි තාක්ෂණික උපකරණ, වායු සමිකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත ගොඩනැගිල්ලක් වූ මෙහි සංවේදි උපකරණ ගලවා ඉවත් කර වී ගබඩා කිරීම සදහා යොදා ගත් බවට චෝදනා නැගී තිබේ. වි ගබඩා කිරීම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වායු සමිකරණ පද්ධතියට, විදුලි පද්ධතියට, ගුවන් යානා ගොඩ බැස්සවීමේ දි ගුවන් පථය පෙන්වා දෙන විදුලි ආලෝක පද්ධතියට හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණ වලදී  අනාවරණය විය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අවධාරණය කළේ මත්තල ගුවන් තොටුපළේ වි ගබඩා කිරිම හේතුවෙන් යහපාලන රජය සිදු කළ හානිය පිළිබද ව රට දැනුවත් කල යුතු බවයි.

මත්තල ගුවන් තොටුපළ ස්වාභාවික මරණයකට ලක් කිරීමට ඇති අවශ්‍යතාවය මත පසුගිය යහපාලන ආණ්ඩුව එම ගුවන් තොටුපළ නොසලකා හැරිය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු මේ වන විට ඒ ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරිම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඇමතිවරයා මෙහි දි කියා සිටියේය.

විශේෂයෙන් ම මත්තල ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ගුවන් සමාගම් කීපයක් සමග පැවති සාකච්ඡා සාර්ථක වි ඇතැයි ද ඇමතිවරයා මෙහි දි කියා සිටියේය.

Visits: 39