2019 මැයි පසුව ඉහළම කෘෂිකාර්මික අපනයන ආදායම 2020 ජූනි මාසයේ

2020 වසරේ ජූනි මාසයේදී මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 229.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2020 ජුනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන සටහන තුළ වාර්තා වෙයි. ඒ අනුව එය පසුගිය වසරේ එම මාසයේදී වාර්තා කළ කෘෂිකාර්මික අපනයන ආදායම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 204.5ට සාපේක්ෂව 12%ක වර්ධනයකි.

එසේම මෙය 2019 වසරේ මැයි මාසයට පසුව රට තුළ වාර්තා වූ ඉහළම කෘෂිකාර්මික අපනයන ආදායමේ වර්ධනය ලෙසද සැලකෙයි. මෙම වර්ධනය සඳහා සකස් නොකළ දුම්කොළ හැර කෘෂිකාර්මික අපනයන යටතේ වර්ග කර ඇති සියලුම උපකාණ්ඩවල අපනයන ඉහළ යෑම් හේතු වී තිබෙන බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

“තේ අපනයන පරිමාව සුළු වශයෙන් පහත වැටුණද, තේ සඳහා වූ සාමාන්‍ය අපනයන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මාස දහයකට පසුව 2020 ජූනි මාසයේදී තේ අපනයන ආදායම ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන් පුවක්, පළතුරු සහ බුලත් අපනයන ඉහළ යෑම හේතුවෙන් සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යාම  සිදු විය.” මහ බැංකුව පවසයි.

මේ අතර කුරුඳු සහ ගම්මිරිස් අපනයන පරිමාව ඉහළ යෑම නිසා කුළු බඩු අපනයන ආදායම ඉහළ ගොස් ඇති අතර, පොල් මද ආශ්‍රිත නිෂ්පාදිතවල සාමාන්‍ය අපනයන මිල ගණන් ඉහළ යෑම සහ පොල් මත ආශ්‍රිත නොවන නිෂ්පාදිතවල අපනයන පරිමා ඉහළ යෑම හේතුවෙන් පොල් අපනයන ආදායම ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ මුල් මාස හය තුළදී මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,039.0 ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ළගා කරගත් ඩොලර් මිලියන 1,245ක කෘෂිකාර්මික අපනයන ආදායමට සාපේක්ෂව 16.6%ක අඩුවීමකි.

Visits: 77