2020 ජුනි වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 161 දක්වා අඩුවෙයි

මේ වසරේ ජූනි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය පසුගිය වසරේ එම මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 316 සිට ඩොලර් මිලියන 161ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 ජුනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය  ඉදිරිපත් කරමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තමේන්තුව මේ බව සඳහන් කරයි. ඒ අනුව මෙය 2009 වසරේ අගෝස්තු මාසයට පසුව වාර්තා කළ අඩුම මාසික වෙළෙඳ හිඟය ලෙසද සඳහන් වෙයි.

එහි සටහන්ව ඇති ආකාරයට මේ වසරේ ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 894 කි. එය පසුගිය වසරේ වාර්තා කළ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1,084ට සාපේක්ෂව 17.5% අඩුවීමකි. එසේම ආනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,055 කි. එය පසුගිය වසරේ ජූනි මාසයේදී ආනයන වියදම වූ ඩොලර් මිලියන 1,400 ක් ට සාපේක්ෂව 24.6%ක අඩුවීමකි.

මේ අතර 2020 වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හය තුළදී මෙරට වෙළෙඳ ශේෂය ඩොලර් මිලියන 3,262 ක් දක්වා ඩොලර් මිලියන 335 කින් අඩු වී තිබේ. 2019 වසරේදී එය ඩොලර් මිලියන 3,597ක් විය.

එහිදී 2020 ජන – ජූනි අපනයන ආදායම ඩොලර් මිලියන 4,413ක් ලෙස සටහන්ව ඇත. පසුගිය වසරේ එම කාලසීමාවේදී අපනයන ආදායම ඩොලර් මිලියන 5,999ක් විය. එසේම 2020 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ මෙරට ආනයන වියදම ඩොලර් මිලියන 7,675කි. එහෙත් පසුගිය වසරේ එම කාලයේදී එය ඩොලර් මිලියන 9,596ක් විය. ඒ අනුව මෙය 20%ක අඩුවීමකි.

මෙලෙස ජනවාරි සිට ජූනි දක්වා වෙළෙඳ හිඟය අඩුවීම සඳහා ප්‍රධානම අයිතම 6ක් බලපා ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත අපනයන 18.4% කින් ඉහළ යාම මෙන්ම මූල ලෝහ ආනයනය 106.3 කින් අඩුවීම, ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය 230.3%කින් අඩුවීම, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයනය 242.4%කින් අඩුවීම, රෙදිපිළි හා රෙදිපිලි උපාංග ආනයනය 329.1% කින් අඩු වීම මෙන්ම ඉන්ධන ආනයනය 757.6%කින් අඩුවීම හේතු වී තිබේ.

මේ අතර අපනයන හා ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළෙඳ මිල අනුපාතයද, 2020 වසරේ ජූනි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.3% කින් පහත වැටී තිබේ. ආනයන මිල ගණන් පහත වැටීමේ වේගයට වඩා වැඩි වේගයකින් අපනයන මිල ගණන් පහත වැටීම මේ සඳහා හේතු වී තිබේ.

Visits: 61