සැප්. 01 සිට උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අතරින් රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරෙන බවත්, ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් බවත් ජනාධිපති කාර්යාලය පවසයි..

ජනාධිපති රාජපක්ෂ මහතා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත මෙලෙස උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

ඒ අනුව රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට හැකි බවත් ජනපති කාර්යාලය පවසයි.

තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතය.

“උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය.  අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ. ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේය. එබැවින් වැඩසටහන අත්හිටුවන ලදී. අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.” ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 38