ඔන්ලයින් වාහන ආදායම් බලපත්‍ර සේවාවේ දෝෂයක්

අන්තර්ජාලය හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාවේ (Online Vehicle eRevenue License Service) යම් තාක්ෂණික ගැටලුවක් හට ගෙන ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) පවසයි.

ඒ අනුව හැකි ඉක්මණින්ම එම දෝෂය නිරාකරණය කිරීම සඳහා කටයුතු යොදන බවත්, මෙම සේවාව නොමැතිවීම නිසා සිදුව ඇති අපහසුතාව පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් එම නියෝජිත ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම සේවාවේ සිදු කෙරෙන යාවත්කාලීන කිරීමක් සඳහා පසුගිය අගෝස්තු 06 වැනිදා සිට 08 දක්වා මෙම සේවාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය කටයුතු යොදා තිබුණි. එහිදී අන්තර්ජාල ගෙවීම් කවුලුවේ යටිතලපහසුකම් සංවර්ධනය කිරීමක් සිදු කළ බව ආයතනය පවසා තිබුණි.  

එම යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අගෝස්තු 08 වැනිදා යළිත් මෙම ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර සේවාව ආරම්භ කෙරිණි. ඒ අනුව දින 6ක කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම සේවාව අද දිනයේදී මෙලෙස දෝෂයක් හට ගෙන ඇත.

Visits: 97