කුළුබඩු අපනයනය ප්‍රවර්ධනයට මහජන බැංකුව හා SAPPTA අතර සාකච්ඡාවක්

කුළුබඩු අපනයන ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම ව්‍යපාර වර්ධනය කිරීමට අවශ්‍ය සුවිශේෂී මුල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට මහජන බැංකුව සහ කුළුබඩු සහ ඊට සමගාමී නිපැයුම් නිෂ්පාදකයින්ගේ සංගමය (SAPPTA) අතර සාකච්ඡාවක් පැවැත් වුණු බව මහජන බැංකුව පවසයි.

පසුගියදා කොළඹ වාණිජ මණ්ඩල ශාලාවේදී මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ. එයට කුළුබඩු සහ ඊට සමගාමී නිපැයුම් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති රොමේෂ් ජයසූරිය මහතා, සංගමයේ වෙනත් නිලධාරීන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක‍්‍රිශානී නාරංගොඩ සහ සහකාර සාමාන්‍යාධිකාරී (කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය) වික‍්‍රම නාරායන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

මෙම සාකච්ඡාව අතරතුර දී SAPPTA නියෝජිතයන් වෙත මහජන බැංකුව වෙතින් ලැබෙන සියලූ මුල්‍ය විසඳුම් ක‍්‍රමවේදයන් පිළිබඳව පැහැදිලි පරිපූර්ණ කරුණු දැක්වීමක් එම බැංකුවේ නියෝජිතයන් විසින් සිදු කර තිබේ. එසේම SAPPTA නියෝජිතයන් විසින් කුළුබඩු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ මුල සිට අගට නිපැයුම් ක‍්‍රියාවලිදාමය පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් මහජන බැංකු නිලධාරින් වෙත ගෙන හැර දක්වා ඇත.

මෙහිදී විවිධ කුළුබඩු වර්ග ජාත්‍යන්තර වශයෙන් වැඩි දුරටත් ප‍්‍රවර්ධනය කිරීම තුළින් ඉහළ විදේශ විනිමය ප‍්‍රමාණයක් රට තුළට ගෙන ඒමේ හැකියාව හඳුනාගත් මෙම දෙපාර්ශවය ගම්මිරිස් අපනයනය සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය මූලික ක‍්‍රමවේදයන් වේගවත් කිරීමට එකඟතාවයක් ඇති කරගත් බවත් පවසයි.

එසේම මෙම සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් සහතික වන පරිදි නිෂ්පාදනය සිදුකිරීමට සහ නිෂ්පාදන තත්වය ඉහළ නැංවීම සඳහා කුළුබඩු ක්ෂේත‍්‍රයේ නිපැයුම් ක‍්‍රියාවලි දාමයේ සියලූ පියවරයන් සඳහා අවශ්‍ය නිවැරදි මුල්‍ය විසඳුම් නිර්මාණය කරදීමට මහජන බැංකුව අපේක්ෂා කරන බවත් සඳහන් වෙයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට රැගෙනයාමේ රජයේ සංකල්පයට සහයෝගය දැක්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් කෘෂි කර්මාන්ත, ධීවර කර්මාන්ත, පශු සම්පත් කළමනාකරණය, කුඩා හාල් මෝල්, උයන් වතු වැවීම, කිරි නිෂ්පාදන සහ අනෙකුත් දේශීය කර්මාන්ත නඟා සිටුවීම උදෙසා ‘අස්වැන්න’ නමින් ණය යෝජනා ක‍්‍රමය රටට හඳුන්වා දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා රජය විසින් ශ‍්‍රී ලාංකික කුළුබඩු අපනයන කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා ප‍්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කළ අතර, මේ හරහා රටේ කෘෂි කාර්මික ක්ෂේත‍්‍රය ගොඩනංවමින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයාගැනීමට දේශීය කර්මාන්ත නඟා සිටුවීමට අපේක්ෂා කරයි.

ඒ අනුව, අස්වැන්න ණය යෝජනා ක‍්‍රමයට කෘෂි කාර්මික ක්ෂේත‍්‍රයෙන් ලැබුණු ධනාත්මක ප‍්‍රතිචාර නිසා අනෙකුත් කෘෂි ක්ෂේත‍්‍රයන් සමඟ ද උපාය මාර්ගික සහසම්බන්ධතාවයන් ඇතිකරගනිමින් මෙම ව්‍යාපෘතිය සමස්ත කෘෂි කාර්මික ක්ෂේත‍්‍රයන්ට අවශ්‍ය මුල්‍ය විසඳුම් ලබාදෙන මුලාශ‍්‍රය ලෙස වඩාත් පුළුල්ව ක‍්‍රියාත්මක කිරීමට මහජන බැංකුව අපේක්ෂා කරයි.

Visits: 309