2020 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික කටයුතු -5.6%ක ඍණ වර්ධනයක්

මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට තුළ කෘෂිකර්මාන්ත ආර්ථික කටයුතු -5.6%ක් ලෙස ඍණ වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2020 පළමු කාර්තුවට අදාළව ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් මෙ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙම කාර්තුව තුළදී කෘෂිකාර්මික අංශය දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති දායකත්වය 7.3%ක් ලෙසටත් සටහන්ව ඇත.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගත තත්ත්වය නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙත ඇති වූ බලපෑම මේ සඳහා හේතු වී ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් 2019 වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු වාර්තා කර තිබූ වර්ධනය 5.0% කි.

දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට 2020 වසරේ පළමු කාර්තුවේදී වී හැර අනෙකුත් ධාන්‍ය වගා කිරීම් 12.9% කින්, පළතුරු වගා කිරීම් 7.4% කින්, එළවලු වගා කිරීම් 5.0%කින් සහ වී වගා කිරීම් 4.1%කින් යනාදී ලෙස වර්ධන වේගයන් වාර්තා කර තිබේ. එසේම උක් වගා කිරීම 10.6%කින් සහ කුළු බඩු වගා කිරීම 1.5කින් මෙන්ම සත්ත්ව නිෂ්පාදන 0.4%කින්ද වර්ධනය වී ඇත.

එහෙත් තේ වගා කිරීම -27.5% කින්, වන ද්‍රව්‍ය -13.3% කින්, පොල් වගාව ඇතුළත් තෙල් සහිත භෝග වගාව -12.8%කින්, රබර් වගා කිරීම -8.7% කින් ලෙස ඍණ වර්ධන වේගයක් වාර්තා කර ඇත.

එසේම කරදිය ධීවර කටයුතු -8.1 කින් සහ මිරිදිය ධීවර කටයුතු -14.4 කින් ලෙස ඍණ වර්ධන වේගයන් වාර්තා කර ඇත. එහිදී කරදිය ධීවර කටයුතු කොවිඩ්-19 වසංගතයේ ඍජු සහ වක්‍ර බලපෑම්වලට දැඩිව ලක්වීම හේතු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Visits: 27