වට්ස් ඇප් හරහා සිදුවන වවුචර් බෙදීමට ‘ලාෆ්ස් සුපර්’ සම්බන්ධ නෑලු

ලාෆ්ස් සුපර් සුපිරි වෙළෙඳ සැල් ජාලයේ 19 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් තෑගි වවුචර් ලබා දෙන බව පවසමින් මේ දිනවලදී එස්.එම්.එස්. සහ වට්ස් ඇප් ඇතුළු පණිවුඩ ජාල හරහා සිදු කර ගෙන යනු ලබන ප්‍රවර්ධනයට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි ලාෆ්ස් සුපර් සුපිරි වෙළෙඳ සැල් ජාලය සඳහන් කරයි.

ලාෆ්ස් සුපර් අවුරුදු 19 සංවත්සරය වෙනුවෙන් රුපියල් 10,000ක තෑගි වවුචරයක් හිමි වූ බවත්, එවැනි වවුචරයක් ලබා ගැනීම සඳහා පහත ඇති වෙබ් ලිපිනය මත ක්ලික් කරන ලෙසත් පවසමින් මෙම පණිවුඩය ලැබෙන බව පාරිභෝගිකයන් බොහෝ පිරිසක් වාර්තා කර තිබේ.

ඒ අනුව මෙය යම් රැවටීමක් වන බවත්, ලාෆ්ස් සුපර් සමාගම මෙවැනි ආකාරයක ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර නොමැති බවත් සමාගම පවසයි. ඒ නිසා ලැබෙන මෙම කිසිදු පණිවුඩයක ඇති වෙබ් ලිපින වෙත පිවිසීමෙන් වැළැකී සිටින ලෙසත්, එම වෙබ් අඩවිය හරහා විමසන කිසිදු තොරතුරකට පිළිතුරු ලබා නොදෙන ලෙසත් ලාෆ්ස් සුපර් සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

එසේම සිය ආයතනයේ සියලුම ප්‍රවර්ධන කටයුතු නිල වෙබ් අඩවිය හරහා හෝ සමාජ මාධ්‍ය පිටු හරහා හෝ සිදු කරන බවත්, මෙවැනි ආකාරයට එවැනි ප්‍රචාරණ කටයුතු සිදු නොකරන බවත් සමාගම පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයත් නිවේදනයක් නිකුත් කරමින්, රුපියල් දසදහසක් වටිනා වවුචරපත් ලබාගන්නට ගිය මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ බව සඳහන් කර සිටියි.

“ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිත කරමින් රුපියල් 10,000ක් වටිනා වවුචරපත් ලබා දෙන මුවාවෙන් වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ එස්එම්එස් පණිවුඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියෙක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.”

මෙලෙස නොමිලේ වවුචර් ලබා දෙන මුවාවෙන් සිදු කරනු ලබන තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා තිබේ.

Visits: 78