IPL ප්‍රධාන අනුග්‍රාහකත්වයට තරගයක්?

ඉන්දීය ප්‍රීමියර්ලීග් තරගාවලියේ 2020 තරගවාරය වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සඳහා සමාගම් රැසක් තරගයකට පිවිස ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව කොකාකෝලා ඉන්දියා සමාගම මෙන්ම අන්තර්ජාලය හරහා ඉගැන්වීම් සිදු කරනByju’s සමාගම එහි ඉදිරියෙන්ම සිටින බව පැවසෙයි.

2018 වසරේ සිට 2022 දක්වා එම අනුග්‍රාහකත්වය ලබා ගෙන තිබූ VIVO මොබයිල් ඉන්දියා පෞද්ගලික සමාගම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමගින් සාකච්ඡා කර පසුගියදා එම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමත් සමගින්ම හිස් වූ ප්‍රධාන අනුග්‍රාහකත්ව පුරප්පාඩුව සඳහා මෙම තරගය ඇතිව තිබේ.

වාර්ෂිකව පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 13 වැනි වටය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීරයේදී ආරම්භවීමටනියමිතව ඇත. ඉන්දියාව තුළ සංවිධානය කෙරෙන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියක් වීමත්, එය බොහෝ පිරිසක් නරඹන ක්‍රීඩා අංගයක් වීමත් සමගම මෙම සමාගම් මෙලෙස අනුග්‍රාහකත්වය හිමි කරගැනීමේ තරගයට පිවිස තිබේ.

මේ අතරින් Byju’s සමාගම දැනටමත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙත සිය අනුග්‍රාහකත්වය දක්වන අතර, මේ වනවිට ඔවුන් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් සාකච්ඡා කරමින් සිටියි. මෙම සමාගම සතුව ආයෝජකයන් කිහිප දෙනෙකු වෙතින් ලබාදුන් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක අරමුදල් පවතින බවත්, ඉන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් මෙම අනුග්‍රාහකත්වය සඳහා වැය කිරීමට Byju’s සමාගම සූදානමින් සිටියි.

මෙම සමාගම් දෙකට අමතරව ඇමසෝන් සමාගමත් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගැනිමේ අරමුණින් සිටින බව පැවසෙයි. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන සමාගම් වෙත වර්තමානයේදී ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමක් ලෙස මෙය සිදු වෙනු ඇතැයි පැවසෙයි.

Visits: 62