මූලික ඡන්ද ප්‍රතිඵල සමග ආයෝජකයන් තුළ යම් පිබිදීමක්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මූලික වටයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්විමත් සමගින්ම රට තුළ ඇති වන ඉදිරි දේශපාලන ස්ථාවරත්වයේ බලාපොරොත්තුවෙන් අද දිනයේදී කොටස් වෙළෙඳ පොළ දේශීය ආයෝජකයන් තුළ යම් පිබිදීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම අද දිනයේදී ආයෝජකයන් අතර නිෂ්පාදන අංශය සහ බැංකු තුළ ශක්තිමත් කොටස් මිලදී ගැනීමක් දක්නට ලැබී තිබේ.

ඒ අනුව අද (2020 අගෝස්තු 06) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,154.48 ත් ඒකක 5,185.23 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,176.85ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 05 දාට) සාපේක්ෂව එය ඒකක 30.41 ක් එනම් +0.59%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව හැටන් නැෂනල් බැංකුව සිදු කළ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුමෙන් 9෴ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 52 ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+5.32), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+2.45), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+2.25), ලංකා ඔරික්ස් ලීසිං පීඑල්සී LOLC (+1.82), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+1.69), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.12), ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී LLUB (-1.02), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-0.98), ටී ජේ ලංකා පීඑල්සී TJL (-0.60)  සහ අමානා බැංකුව පීඑල්සී ABL (-0.53) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,219.54 ක අගයක් ගත් අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 9.87 ක එනම් +0.45%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 889.19ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් මිලියන 604ට සාපේක්ෂව 47%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.44 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.55%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 13.42ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 248.40ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 234.99 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.78ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ති කම්පැනි (ලංකා) පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.72 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 120.09ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 379 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 43% ක අගයක් ගෙන තිබේ. එසේම ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 160ක සහ රුපියල් මිලියන 129ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 232